Image

බලය සහ දේපළ අයිතිය: රජය හමුවේ, යම් වරප්‍රසාදලත් පන්තියක් හමුවේ පමණක් කේන්ද්‍රගත කිරීමට එජාපයේ බලාපොරොත්තුවක් නැහැ - රනිල් වික්‍රමසිංහ

බලය සහ දේපළ අයිතිය: රජය හමුවේ, යම් වරප්‍රසාදලත් පන්තියක් හමුවේ පමණක් කේන්ද්‍රගත කිරීමට එජාපයේ බලාපොරොත්තුවක් නැහැ - රනිල් වික්‍රමසිංහ

බලය සහ දේපළ අයිතිය: රජය හමුවේ, යම් වරප්‍රසාදලත් පන්තියක් හමුවේ පමණක් කේන්ද්‍රගත කිරීමට හෝ ඒකරාශී කිරීමට හෝ තම පක්ෂය බලාපොරොත්තු වන්නේ නැතැයි Viii වැනි විධායක ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ගේ 120වන ජන්ම දිනය නිමිති කර ගෙන මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨය කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැත්වූ විද්වත් කතිකාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ…

 

එජාපය කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ෂයක්

''බුද්ධික පතිරණ මැතිතුමා මේ අවස්ථාවේ දී සමගි ජන බලවේගයත්, එක්සත් ජාතික පක්ෂයත් එක වේදිකාවකට ගන්න ගත්ත පියවර ගැන ස්තූතිවන්ත වෙනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පක්ෂයක්. විශේෂයෙන්ම ඒ පිළිබඳ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1975 දී ප්‍රකාශ කරා. ඒ වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත්, අනික් සියලු දෙනාමත් කැපවෙලා කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් මා පළමුව පැහැදිලි කිරීමක් කරන්නම්.

කුඩා දේපළක්, කුඩා ව්‍යාපාරයක් හෝ කුඩා නිවසක් හෝ හිමි අයෙකු තුළ යම් නිදහස් සහ ස්වාධීන පැවැත්මක් පවතින බව එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරනවා. සමස්ත රට පුරාම දේපළ අයිතිය ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර විමධ්‍යගත වූ විට ඒ දේපළ හිමිකම් තුළින් ගොඩනැගෙන බලය ද ජනතාව අතර බෙදී යනවා. එසේ බෙදී ගිය බලයක් අයුතු ලෙස බලපෑම් කිරීමට යොදාගත නොහැකි යි. බලය සහ දේපළ අයිතිය රජය හමුවේ, යම් වරප්‍රසාදලත් පන්තියක් හමුවේ පමණක් කේන්ද්‍රගත කිරීමට හෝ ඒකරාශී කිරීමට හෝ අප බලාපොරොත්තු වන්නේ නැහැ. සෑම පුද්ගලයකුට ම නිදහස් මිනිහෙක් ලෙස ජීවත් වීමට, තම පවුල පෝෂණය කිරීමට, නීත්‍යානුකූල හිමිකම් ඇති කර ගැනීමට හා ඒවා පරිහරණය කිරීමට, තම කුසලතාවයන් කැමති පරිදි භාවිතා කිරීමට, තම ආගම ඇදහීමට, තමන් කැමති රජයක් පත් කර ගැනීමට ඇති නිදහස තහවුරු කළ යුතුයි.

 

අපිත් කළේ විප්ලවයක්

මෙය පදනම් කරගෙන ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා අවුරුදු 17ක විප්ලවයක් ආරම්භ කළා. එතුමාගෙන් පසු රණසිංහ ප්‍රේමදාස මැතිතුමාත් ඒක ඉදිරියට ගෙන ගියා. රටේ ආර්ථිකය කනපිට හැරෙව්වා. හොඳ ජීවන මට්ටමක් ඇති වුණා. විශේෂයෙන්ම පාසැල් යන කණ්ඩායම බැලුවොත්, එදා පාසැල් යන ප්‍රමාණය මිලියන 2.5යි. 1994 යළි රට බාරදෙන විට මිලියන 4.1 යි. අද ඉන්නේ මිලියන 3.9යි, මොකද රටේ ජනගහනය වැඩිවෙන්නේ නැහැ. එහෙනම් අවුරුදු 17කින් මිලියන 1.6 කට මේ රටේ අධ්‍යාපනය ලබාදෙන්න අපට පුළුවන් වුණා. ඒක විප්ලවයක් නේද? විශේෂයෙන්ම බැලුවොත් එදා නිවාස 10%කට, කර්මාන්ත ශාලා 10%කට පමණයි, විදුලි බලය තිබුණේ. අද 95% කට විදුලි බලය තිබෙනවා. එදා 40%ක නිවාසවලට තමයි ස්ථීර වහලයක්, සිමෙන්ති බිත්ති තිබුණේ. අප ඒකත් වෙනස් කළා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ගත්ත පියවර නිසා අද 80%කට ස්ථිර වහලයක් සහ සිමෙන්ති බිත්ති සහිත නිවාස තිබෙනවා. මේක විප්ලවයක් නොවේද?. මොකක්ද අප කළේ? ආර්ථිකය සංවර්ධනය කළා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළට ගත්තා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, පරමාධිපත්‍යය තහවුරු කළා.

 

අපි දුප්පත්කමින් මිදුණෙ ජේ ආර් ගෙ විප්ලවය නිසා

ජේ. ආර්. ජයවර්ධන  මැතිතුමා රටේ බලය ගන්න පෙර බලය තිබුණේ පාර්ලිමේන්තුවේ ය. 78 ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියෙන් පරමාධිපත්‍ය පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ජනතා පරමාධිපත්‍යයට ඇතුළත් කළා. ජනාධිපති එනම් විධායකයේ ප්‍රධානියා තෝරන්න රටේ ඡන්දදායකයින්ට බාර දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශ කර පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියල්ලම ජනතා පරමාධිපත්‍යයට ඇතුළත් කළා. ඒ වගේම ඡන්ද බලය ජනතා පරමාධිපත්‍යයට ඇතුළත් කළා. ඒවා තිබෙන්නේ ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ගෙනාව ඒ විශේෂ ව්‍යවස්ථාව නිසයි. ඒ වගේම 83 වැනි වගන්තියෙන් ඇතැම් පනත් කෙටුම්පත් සඳහා ජනමත විචාරණ පැවැත්විය යුතුයි කියා 3 වැනි වගන්තියට ඇතුළත් කළා. බුද්ධාගම 9 වැනි වගන්තියත් ඇතුළත් කළා. ඒ වගේම මූලික අයිතිවාසිකම්වල අධිකරණ බලය ක්‍රියාත්මක කරන්න 126 වැනි වගන්තියත් දැම්මා. මේකයි විප්ලවය කියන්නේ. මේක තමයි අද ඔබට තිබෙන අයිතිය. එදා අපි දුප්පත්කමින් මිදුණේ ඇත්ත වශයෙන්ම ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අවුරුදු 17ක්  පුරා ගෙන ගිය මේ විප්ලවය නිසාය. එතුමා වගේම ප්‍රේමදාස මැතිතුමාත්, මහවැලිය හදන්න ගාමිණී දිසානායක මැතිතුමාත්, මහපොළ හඳුන්වා දෙන්න ලලිත් ඇතුළත්මුදලි මැතිතුමාත් ගත් උත්සායහයන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.

අපේ කැපවීම තිබෙන්නේ මේ විප්ලවය තවදුරටත් ඉදිරියට ගෙනයන්නයි. ඒ දේවල් සිහිපත් කරන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර වැඩකටයුතුත් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ සියල්ලටම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, සාමාජිකයින්ටත් මා ආරාධනා කරනවා.''

 

WhatsApp Image 2026 09 18 at 11.05.18 AM

WhatsApp Image 2026 09 18 at 11.05.22 AM

WhatsApp Image 2026 09 18 at AM

WhatsApp Image 2026 09 18 at 11.05.21 AM

WhatsApp Image 2026 09 18 at 11.05AM

 

WhatsApp Image 2026 09 18 at 11.05

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න