Image

“උගත් තරුණ පිරිස අතර 43%කට රැකියා නැහැ; ආසියාවේ ඉහළම ප්‍රතිශතය ලංකාවේ” - මහාචාර්ය ජී. එල්. පීරිස්

“උගත් තරුණ පිරිස අතර 43%කට රැකියා නැහැ; ආසියාවේ ඉහළම ප්‍රතිශතය ලංකාවේ” - මහාචාර්ය ජී. එල්. පීරිස්

අද අප රටේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට විරැකියාව පත්ව ඇති බවත්, අධ්‍යාපනය ලබාගත් තරුණ පිරිස අතර 43%කට රැකියා නොමැති බවත්, එය මුළු ආසියාවේම ඉහළම ප්‍රතිශතය බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.

කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ ඊයේ (24) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් ඔහු පැවසුවේ අද වන විට රැකියා විරහිත උපාධිධාරීන් 40,000ක පමණ පිරිසක් සිටින බවත්, මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර අතට පත් වෙමින් තිබෙන බවයි.

ඒ අනුව මෙම පිරිස රැකියා වෙළඳ පොළට පැමිණියත් රැකියා නොමැති නිසා, ඒ අතරින් 50% කට පමණ විදේශගත වන්නට සිදුව තිබෙන බවත්, එයද බටහිර රටවල් සංචාරක රැකියා සඳහා සීමා පනවා තිබෙන නිසා දුෂ්කර වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

 

වෛද්‍ය සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රවල පුරප්පාඩු

අපේ රටෙන් වැඩිපුරම විදේශගත වන්නේ වෛද්‍යවරුන් බව පැවසූ මහාචාර්යවරයා, වෛද්‍ය ක්ෂේත්‍රයේ පුරප්පාඩු 7,000ක් පමණ තිබෙන බවද කියා සිටියේය. එසේනම් රටේ ජනතාව වෙනුවෙන් ගුණාත්මක වෛද්‍ය සේවයක් සපයා දෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ද එවැනිම තත්ත්වයක් පවතින බව පෙන්වා දුන් ඔහු මෙසේද පැවසීය:

"ආචාර්ය සංගමය කියනවා විශ්වවිද්‍යාල නිසි පරිදි පවත්වාගෙන යෑමට ආචාර්ය, මහාචාර්යවරුන් 12,000ක් අවශ්‍ය වෙනවා කියලා. නමුත් දැනට ඉන්නේ 6,000යි. එසේනම් 50%කට ආසන්න පුරප්පාඩු තිබෙනවා. අද ප්‍රශ්නය වෙලා තිබෙන්නේ අලුත් විශ්වවිද්‍යාල හදන එක නොවෙයි. තිබෙන විශ්වවිද්‍යාල පිළිගන්න පුළුවන් මට්ටමකින් නඩත්තු කරගෙන යාමයි. ඒ ගුණාත්මකභාවය පිළිබඳ බොහොම දරුණු ප්‍රශ්නයක් මතුව තියෙනවා."

 

ප්‍රාග්ධන වියදම් පිළිබඳ ගැටලුව

මේකට විසඳුම රැකියා අවස්ථා පුළුල් කිරීම බවත්, ඒ සඳහා ප්‍රාග්ධනය වියදම් කිරීම අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

"මේකට විසඳුම තමයි රැකියා අවස්ථා පුළුල් කිරීම. ඒ සඳහා ප්‍රාග්ධනය වියදම් කිරීම අවශ්‍යයි. දැන් අපේ රටේ අයවැය ලේඛනයේ තිබෙන ප්‍රධාන ගැටලුව තමයි මුදල් වෙන් කරනවා. නමුත් ඒ වෙන් කරන මුදල් වියදම් කර ගැනීමට හැකියාවක් නැහැ. ලෝක බැංකුවේ වාර්තාව අනුව ගිය අවුරුද්දේ අයවැය ලේඛනයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන් කරපු සමස්ත මුදලින් මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට වියදම් කර තිබෙන්නේ 16.4%යි. මේ අවුරුද්ද අවසාන වන විට ගිය අවුරුද්දේ අයවැය ලේඛනයෙන් ප්‍රාග්ධන ව්‍යාපෘති සඳහා වෙන් කරපු මුදල්වලින් 30% - 40%ක් පමණ ප්‍රතිශතයක් තමයි වියදම් කිරීමට පුළුවන් වන්නේ. එය සුළු ප්‍රමාණයක්. බලාපොරොත්තු වෙන ප්‍රතිඵල කොහෙත්ම ලබාගන්න බැහැ. ඒ විතරක් නොවෙයි. ඒ වියදම් කරන මුදල් පවා ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතා කිසිසේත් නිසි ආකාරයෙන් වටහාගෙන නොවෙයි මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නේ." යනුවෙන් මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසුවේය.

 

මෙම මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ අදහස් දැක්වීම් කියවන්න මෙතනින්

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න