මෙවර (2026) පැවති සරසවි සම්මාන උළෙලේ දී දශක දෙකක් පමණ අධිනිශ්චය වූ සිනමාකරුවන් හැලී ගොස් නැවත පැරණි ආකෘතියක් මතුවීමට පටන්ගෙන ඇත. 90 දශකයේ හටගත් ‘‘ජනප්‍රිය සංස්කෘතික විවාදයට’’ පසුව එතෙක් ලංකාවේ පැවති ශාස්ත්‍රාලීය සහ ජනමාධ්‍ය අවකාශයේ රජ කළ යථාර්ථවාදය නම් කලා විචාර විධික්‍රමය පසුපසට තල්ලු කරමින් නව ශතවර්ෂය ආරම්භ වූයේ ආත්මීය නිදහස පදනම් කරගත් නූතනවාදයෙනි.
යථාර්ථය පිළිබඳ වාර්තා වැඩසටහන්වලින් මිදීම
අසෝක හඳගම පටන් ගත්තේ යථාර්ථය පිළිබඳ වාර්තා වැඩසටහන්වලිනි. උදා:- දුන්හිද අද්දර, දිය කැට පහන. නමුත්, දශක දෙකක් පමණ ගෙවී යන තැනදී ඔහු ‘ඇගේ ඇස අග’, ‘අක්ෂරය’, ‘රාණී’ යනාදි ආත්මීයත්වය ප්‍රකාශ වන නූතනවාදී ප්‍රකාශනවලට මාරු විය. මේ තත්ත්වය ඔහුට පමණක් නොව ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර යනාදි සිනමාකරුවන්ට ද අදාළ ය. සමස්තයක් ලෙස, පරිභෝජනවාදී මානසික යථාර්ථයක් නිරූපණය කිරීමට යෑම නිසා ඔවුන් සියලුදෙනා ලාංකීය නූතනවාදයක ප්‍රකාශකයන් වූවා පමණක් නොව ධර්මසිරි, පතිරාජ, වසන්ත ඔබේසේකර යාදි සිනමාකරුවන්ව පවා නූතනවාදීන් ලෙසින් අර්ථකථනය කිරීමට අපට බල කෙරිණ. පෝලන්තයේ පැවති පින්තූරම යථාර්ථවාදය බිඳ දමා නූතනවාදයට යෑමට ‘ක්‍රිස්ටෝෆ් කිසලෝවිස්කිට’ බලපෑම් කරන ලද්දේ එහි පැවති සමාජවාදය බිඳවැටීමත්, ඊට ලිබරල් ධනවාදය එළඹීමත් නිසා ය. කිසලොවිස්කිගේ ආගමනය සමග නැගෙනහිර සමාජවාදී රටවලට ඒ දක්වා හිමි වූ දෙවන ලෝක යුද්ධ යථාර්ථය, සීතල යුද්ධය, විගාමිකයන්ගේ පැවති සමාජවාදය පිළිබඳ විමතිකභාවය යන මේ සියලු මාතෘකාවන් අවසන් විය. කිසලොවිස්කිගේ යුරෝපා නූතනත්වයේ නිදහස පිළිබඳ තේමාවන් තුන- White, Blue, Red- විසින් ජාතික රාජ්‍යයන්ගෙන් පිටතට විසරණය වන නිදහස පිළිබඳ නව සත්‍යයක් හෙළිදරව් විය. ප්‍රංශ විප්ලවයේ මුඛ්‍ය තේමා තුන- නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය- සාමූහික තලයෙන් පුද්ගලික අර්ථකතන විශ්වයකට මාරු වීමක් එම චිත්‍රපට තුළින් පැහැදිලි ලෙස දෘශ්‍යමාන වේ.
සමාජවාදය පිළිබඳ වූ විකෘති සිහිනය
ඉහත තත්වයේ ඓතිහාසික විලෝමයක් ශ්‍රී ලාංකික තත්වය මගින් නිරූපණය වෙයි. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් මාලිමා ආණ්ඩුවේ ජයග්‍රහණය සමග නැවතත් සමාජවාදය පිළිබඳ විකෘති වූ සිහිනයක් ගැන කෙඳිරි ගෑමක් ගම්‍යමාන වේ. නමුත්, හොරු ඇල්ලීම නම් ජනප්‍රිය සටන් පාඨයට එහා ගිය සමාජවාදය ගැන ආඛ්‍යානයක් අපට මාලිමා ආණ්ඩුවේ ආඛ්‍යානය මඟින් නිරූපණය නොවේ. එම නිසා, දැන් ශ්‍රී ලංකාවේ සමාජ යථාර්ථය යථාර්ථවාදය සහ නූතනත්වය අතර පසමිතුරු වැඩබිමක් බවට නැවත පත් වී ඇත. ප්‍රපංචයක් ලෙස නැවත ‘යථාර්ථවාදය’ විද්‍යාමාන වීම අඩු වශයෙන් දේශපාලන තලය තුළදීමත් නිරූපණය වෙයි.
ගාඩි ජනයාට 'අමු රෙදි' ඇන්දවීම
මෙවර සරසවි සම්මාන උළෙල මඟින් දෘශ්‍යකරණයට ලක් වන්නේ, ඉහත කී උභතෝකෝටිකය යි. එනම්, යථාර්ථවාදය සහ නූතනවාදය පිළිබඳ සමාජ සංවාදය යි. එහි ජූරිය සකස් වී ඇත්තේ, ගාමිණි වේරගම, කපිල එම්. ගමගේ යනාදි වාර්තා වැඩසටහන් යථාර්ථවාදීන්ගෙනි. ‘දේවි කුසුමාසන’ බඳු වාර්තා චිත්‍රපට සඳහා දැඩි අවධානයක් යොමු වීම පුදුමයක් නොවේ. හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ධම්මික හේවාදුවත්ත ලබා ගන්නා විට හොඳම වස්ත්‍රාභරණ නිර්මාණයට හිමි සම්මානය හිමි වූයේ, වාසනා හේවාදුවත්ත මහත්මියට ය. ඇය ධම්මිකගේ බිරිඳ ය. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ගාඩි’ චිත්‍රපටයේ රොඩි ජනයා (?) ට අමු රෙදි ඇන්ඳ වූයේ ද ධම්මික ය. ඓතිහාසික නිර්මාණ පිළිබඳව විශේෂඥ දැනුමක් ඇත්තේ, ධම්මිකට බවට ක්‍ෂේත්‍රයේ කතාබහක් ද නිර්මාණය වී ඇත. චිත්‍රපටය තුළ නොව ඉන් පිටත යථාර්ථය කෙතරම් ප්‍රබන්ධකරණයට ලක් වී තිබේ ද යත් ප්‍රසන්න විතානගේ නම් නූතනවාදී චිත්‍රපටකරුවා පවා වසඟයට පත් කළ හැකි මිනිසුන් දැන් ක්ෂේත්‍රයේ ජීවත් වෙති. ඉන් නොනැවතී අප ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටයට එන විටදී, කපිල එම්. ගමගේ මහතා ගේ මිත්‍රයෙක් වන අජන්ත අලහකෝන් සහ ඔහුගේ පුතාට සහ ඔහුගේ මිතුරාට ද ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය ලැබී ඇත. අනෙක් අතට, ඉලංගෝ නම් සිනමා ව්‍යාපාරිකයා ද තම බිරිඳ සමගම වැඩට බැස ඇත. බිමල් දුෂ්මන්තගෙන් කලා අධ්‍යක්ෂණය ධම්මික හේවාදුවත්තට විස්ථාපනය වීම- ඒ කියන්නේ ලයිකා සමාගමේ දෙවන වැඩය ඔහුට නොලැබීම- පිළිබඳව ගොසිප් කතාව ද අපට වැදගත්ය. අජන්ත අලහකෝන් හොඳ මිනිසෙකි. නමුත්, මේ වන විට සිනමාව කර්මාන්තයක් නොව පවුල්වාදයකි. කලා අධ්‍යක්ෂකවරු දැන් set එකේ කෑම උයන්නට එක්කගෙන එන්නේ catering service වල අයව නොව අම්මලා තාත්තලාව ය.
චිත්‍රපට ලෝකයට කාන්දු වූ පවුල්වාදය
සිනමාව දිගු කලක් වාර්තාමය යථාර්ථවාදයෙන්- ගම්ලත්ගේ සිට වේරගම හරහා ගුණසිරි සිල්වා දක්වා- නූතනවාදයට ගමන් කරමින් තිබුණි. එය නැවතත් යථාර්ථවාදයට පැන්නීමට වේරගොඩලා සහ කපිල එම්. ගමගේලා සරසවි සම්මාන උළෙල යොදාගෙන ඇත. ඒ සඳහා පසුබිම සපයා ඇත්තේ, ජනතා විමුක්ති පෙරමුණේ සංස්කෘතික දෘෂ්ටිවාදය යි. ඔවුන් නුතනවාදය සලකන්නේ, බටහිර පරගැති කල්ලතෝනි ප්‍රපංචයක් ලෙසිනි. නමුත්, ඔවුන් සියලුදෙනාගේ සරම යටින් ගඟ ගලන්නේ කුටුම්භ සංරක්ෂණවාදීන් වන ධම්මික හේවාදුවත්ත සහ ඉලංගෝලාගේ පුද්ගලික වුවමනාවන්ට අනුකූලව ය. දේශපාලනය තුළ තහවුරු වූ රාජපක්ෂ පවුල්වාදය දැන් චිත්‍රපට ලෝකයටත් කාන්දු වී ඇත. මින් සිදු වන්නේ, වේරගොඩලාගේ ජයග්‍රහණය හෝ අපගේ පරාජය නොව ඉලංගෝලාගේ පැකේජ් න්‍යාය සිනමාව ලෙස තහවුරු වීමයි.
මුහුණු පොතේ පල්හෑලි ලියන අයට නිර්මාණකරුවන්ව ආරක්‍ෂා කළ හැකි ද…?
‘වාලම්පූරි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න වටහාගත යුත්තේ ඔවුන් වැනි මහන්සි වී චිත්‍රපට හදන අයව මුහුණු පොතේ ආරක්ෂා කරන අයට ක්ෂේත්‍රයේ දී ආරක්ෂා කළ නොහැකි බවයි. කන්නංගරලා සහ භූපතිලාගේ කණෙන් රිංගීමට ධම්මිකලා සහ ඉලංගෝලා දක්ෂ ය. ‘සම්මාන උළෙල’ පැවැත්වූ දවසට පෙර එහි සම්මාන දෙන්නේ කාට ද යන්න හෙළිදරව් වී තිබුණි. ‘රාණී’ සඳහා කිසිදු සම්මානයක් නොලැබෙන බව එහි ශිල්පීන් කලින්ම දැන සිටියහ. ලක්මාල් ධර්මරත්න නම් අහිංසකයා සිනමා ක්ෂේත්‍රයේ යටි බිම්ගත දේශපාලනය නොදන්නා නිසා අඩු ගණනේ ලයිකා ජානකී දන්න දේවත් දන්නේ නැත. මුහුණු පොතේ පල්හෑලි ලියන අයට නිර්මාණකරුවන්ව ආරක්‍ෂා කළ නොහැකි ය.
කුටුම්භ රක්ෂණයට කඩේ යන මාලිමා ආණ්ඩුව
දැන් එක ඇත්තේ සිනමා කර්මාන්තය සතුවවත්, කලාත්මක නිෂ්පාදන කළ Art House කණ්ඩායම තුළවත් නොවේ. ප්‍රාග්ධනයේ නූතන තර්කය හරියට අල්ලා ගත් පවුල්වාදීන් අත තමයි මොන චිත්‍රපට, මොන අයත් එක්ක කරනවාද කියන එක තීරණය කරන්නේ. මෙහි හාස්‍යය වන්නේ, රුපියල් බිලියන ගණනක් සිනමාවට ආයෝජනය කළ ලයිකා සමාගමට පවා වැරදී ගිය යථාර්ථය යි. මෙහි දේශපාලන අදහස වන්නේ, වේරගමලා හිතන දෙයට යටින් සිදු වන්නේ වෙනත් දෙයක් බවයි. නැගෙනහිර යුරෝපයට ධනවාදය පැමිණි පසු එහි පැවති සුභසාධන රාජ්‍ය ව්‍යුහය බිඳ වැටී, එහි ජනතාවට හිඟා කන්නට සිදු වූවා සේ තව ටික කලකින් ලක්මාල් ධර්මරත්න බඳු නිර්මාණකරුවන්ට- කූඹියන්ව හොඳින් වටහා ගත් ඔහුට ගෙම්බා පිට උඩ සිටින ගෝනුස්සා නොදැකීම- සිදු වන්නේ, සූප්පු කටේ ගසා ගැනීමට ය. මගේ ගැටලුව වරදවා වටහා නොගන්න. ‘රාණී’ චිත්‍රපටයට සම්මාන නොලැබීම මගේ මාතෘකාව නොවේ. මගේ මාතෘකාව වන්නේ, නූතන යථාර්ථවාදය වැටී ඇත්තේ සමාජ යථාර්ථය දෙසට නොව පවුල් යථාර්ථවාදයක් දෙසට වීමයි. මාලිමා ආණ්ඩුව මේ කඩේ යන්නේ ‘යථාර්ථවාදයට’ නොව කුටුම්භ රක්ෂණයටයි. දවසේ ‘ප්‍රාග්ධනය’ ගෙදර ගෙනියන්නේ ලයිකා වැනි සමාගම් හෝ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව නොවේ. ‘ප්‍රාග්ධනය’ අද ගෙදර ගෙනියන්නේ, Facebook post යටින් Thank you කියා ලියන ඉලංගෝ වැනි ව්‍යාපාරිකයන් ය. වේරගම ට මේ යථාර්ථය ‘යශෝරාවය’ ටෙලි නාට්‍යයෙන් ඉගෙන ගන්නා ලෙසට අපි ආරාධනා කරමු!

දීප්ති කුමාර ගුණරත්න
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
