විදෙස් තානාපතිවරුන්ගෙන් ජනාධිපතිට සහතිකයක් !

විදෙස් තානාපතිවරුන්ගෙන් ජනාධිපතිට සහතිකයක් !

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරුන් ජනපති හමුවේ සහතිකව තිබේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඔවුන් මේ බව සඳහන් කර ඇත .

පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම තත්ත්වයෙන් මිදීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී සඳහන් කළ විදෙස් තානාපතිවරු කඩිනමින් මෙම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට තිබෙන එකම අභියෝගය මෙම ආර්ථික අර්බුදය බවත්, එය අනාගත පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය අපේක්ෂාව බවත්ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන්වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපතිවරයා පැවසීය.

විදෙස් තානාපතිවරු වෙත සිය ස්තුතිය පිරිනැමූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රජය සෑම අවස්ථාවකම විනිවිදභාවයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කරන බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙහිදී වර්තමානයේ ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කර ඇත .

රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, ෂෙහාන් සේමසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන සහ රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

IMG 20220922 WA0014

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න