Language Switcher

V2025

මාධව් පදනමෙන් ඩොලර් මිලියන 1.5 ක ජීවිත ආරක්ෂක ඖෂධ පරිත්‍යාගයක්

මෙරට සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ සඳහා භාවිතා කරන, ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ඖෂධ එන්නත් තොගයක් මුකුල් මාධව් පදනම (Mukul Madhav Foundation) හා එක්සත් රාජධානියේ ඉන්දීය සම්භවයක් සහිත විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඊයේ (06) පරිත්‍යාග කෙරිණි.

ඒ අනුව එම ඖෂධ එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල වෙත එම සංවිධාන එක්ව නිළ වශයෙන් බාර දෙනු ලැබීය. මෙහිදී අඩු රුධිර පීඩනය සහ කම්පනය සඳහා භාවිතා කරන එන්නත් (Hypotension Anaphylaxis Septic Shock) 140,000 ක තොගයක් හා නිර්වින්දන හා ප්‍රතිවිෂ ඖෂධ (Antidote treat organophosphate Poison and to reduce saliva during surgery) 150,000 ක් වශයෙන් මෙරට සෞඛ්‍ය පද්ධතියට ප්‍රදානය කෙරිණි.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ජිවිතාරක්ෂක ඖෂධ 14ක තොගයක් රටට අවශ්‍ය බවද, එම ජිවිතාරක්ෂක ඖෂධ සියල්ල මේ වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

අද ප්‍රදානය කෙරුණු එන්නත් තොගය සඳහා වන ප්‍රවාහන සහ අනෙකුත් පහසුකම් අශෝක් ලේලන්ඩ් ආයනතය විසින් සිදු කරනු ලැබූ අතර ඉදිරියටත් එම සංවිධානයන්හි සෞඛ්‍ය ප්‍රදානයන් සඳහා අදාළ පහසුකම් ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම්  පවසයි.

ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන වත්මන් අභියෝග හමුවේ මෙවැනි හදිසි අවස්ථාවකදි මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහයෝගය ලබාදීමට එක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල  මෙහිදී ප්‍රසාදය පළ කළේය. 

 මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොවිඩ් 19 වසංගත රෝග කළමණාකරණ හා වෛද්‍යාධාර සම්බන්ධීකරණ වෛද්‍ය අන්වර් හම්දානි, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඉරීනා තාකූර්, ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගෞතම්, ඉන්දියානු සම්භවයක් ඇති වෛද්‍යවරුන්ගේ බ්‍රිතාන්‍ය සංගමයේ (BAPIO) නියෝජිත වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ, ඉන්දියානු ප්‍රධාන විධායක සංසදයේ කිෂෝර් රෙඩ්ඩි යන මහත්ම මහත්මීහු ද එක් වූහ.

WhatsApp Image 2023 02 06 at 6.14.55 PM