Language Switcher

V2025

රාජ්‍ය විරෝධී වැඩ කලොත් රජයේ රස්සාත් නෑ - උසස්වීමුත් නෑ !

උපාධිධාරීන් ඇතුළුව රාජ්‍ය සේවයේ සියලු රැකියා අවස්ථා සඳහා බඳවාගැනීම් සිදුකිරීමේදී සහ උසස්වීම් ලබාදීමේදී රාජ්‍ය විරෝධී මෙන්ම නීත්‍යනුකූල නොවන කටයුතුවල නිරතව ඇතිද යන්න සම්බන්ධයෙන් විශේෂ සොයාබැලීමක් සිදුකිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

මේ වනවිට රාජ්‍ය සේවයේ ඉහලම තනතුරුවලට පවා රාජ්‍ය විරෝධී කටයුතු වලට සහය දක්වන කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් යුතු පුද්ගලයින් පත්ව ඇති බවත් එම පිරිස් සුක්ෂම ලෙස රජයේ කටයුතු කඩාකප්පල් කරන බවට ලැබී ඇති බුද්ධි වාර්තා මෙන්ම රාජ්‍ය සේවයේ විශ්‍රාමික උසස් නිලධාරීන්ගේ නිර්දේශ මත පදනම්ව රජය මෙම තීරණය ගෙන ඇත.

එහිදී ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ රාජ්‍ය විරෝධී සහ කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් යුතු පිරිස් රාජ්‍ය සේවයට එක්වීම ස්ථාවර රාජ්‍ය පාලනයකට බාධාවක් බැවින් රාජ්‍ය සේවයේ බඳවාගැනීම් සිදුකරන විට ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇති බවය. රජය මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු නොකළහොත් එවැනි පුද්ගලයින්ගේ හැසිරීම හේතුවෙන් ඉදිරියේදී කිසිම රජයකට රට පාලනය කල නොහැකි වනු ඇති බවය.

මෙවැනි පිරිස් මැදිහත්ව සිදුකරන, රටේ ආර්ථිකයට තීරණාත්මකව බලපාන අතිශය වැදගත් සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කිරීම් , රාජ්‍ය ප්‍රතිපත්ති සමඟ වෘත්තීය සමිති මට්ටමෙන් ගැටුම් ඇතිකර එම වැදගත් ප්‍රතිපත්ති කෙරෙහි වැරදි සමාජ මත නිර්මාණය කිරීම වැනි කටයුතු හේතුවෙන් රටට සිදුවන හානිය ගණනය කළ නොහැකි බවද රාජ්‍ය සේවයේ විශ්‍රාමික උසස් නිලධාරීන්ගේ මතය වී තිබේ.

මේ අතර කැබිනට් අමාත්‍යවරයකු සඳහන් කර සිටියේ , කඩාකප්පල්කාරී මානසිකත්වයෙන් යුතු පිරිස් මෙන්ම කලහාකාරී ක්‍රියා සැලසුම් කරන පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට බුද්ධි අංශ කටයුතු කරමින් සිටින බවයි. ඒ හරහා මින් ඉදිරියට රජයේ සේවයට මෙන්ම රාජ්‍ය සංස්ථා සහ බැංකු සඳහා බදවා ගැනීමේ දී මෙන්ම උසස් වීම් ලබා දීමේදී එම පුද්ගලයින් පිළිබඳව පොලිස් වාර්තා ලබා ගැනීම අනිවාර්යය කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී ඇති බවද එම අමාත්‍යවරයා පැවසීය.

දේශපාලන බල අධිකාරිය විසින් සිදුකරන පත්වීම් සඳහා ද මෙම විශේෂ පොලිස් වාර්තා ගැනීම සිදුකරන බවත් මෙය සිදුකරන්නේ මුළුමනින්ම ශ්‍රී ලංකා රාජ්‍යයේ යහපත වෙනුවෙන් මිස වෙනත් කිසිඳු අපේක්ෂාවකින් නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.