Language Switcher

V2025

අනුරටත් පැරදුණු සජිත් "චව්චව්" ට ඇඳලා !

සදොස් සිතකට දොස් නගන්න අලුතෙන් චෝදකයකු අවශ්‍ය නැතැයි කියමනක් ඇත. එක්සත් ජාතික පක්ෂය පුපුරවාගෙන සජිත් පස්සේ වැටුණු බොහෝ දෙනෙකුත් අද අත්විඳිමින් සිටින්නේ එවැනි තත්වයක් ය. ඒ "රනිල් එක්ක බෑ" කියා ගියාට , රනිල් නැතුව අනාගතයක් නොමැති බව දැන් හොඳටම තහවුරුව ඇති නිසාය.

රනිල් විසින් හඳුන්වාදුන් මුජිබර් වැනි බිම්මට්ටමේ ක්‍රියාකාරී තරුණ දේශපාලන නායකයන් නන්නත්තාරය. ආර්ථිකය සම්බන්ධව ඔස්තාද්ලා ලෙස රනිල්ගේ පහසුකම් ඇතිව ඉහළට පැමිණි හර්ෂලා විහිළුකාරයන් බවට පත්ව ඇත. එරාන්ලා දේශපාලන පෙතේ පැත්තකට දමා බ්ලාන්ස් යවා ඇත. ආර්ථිකය සම්බන්ධව සැළකිය යුතු ප්‍රාමාණිකත්වයක් සහිත කබීර් වැනි ජේෂ්ඨයන් පවා වැදගැම්මකට නැත්තන් සේ සලකා පැත්තකට දමා ඇත. රට ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදයට මුහුණදී එයින් ගොඩ ඒමට උත්සාහ දරන පසුබිමේ, හරි නම් විපක්ෂයේ දේශපාලන කරළියේ මුල් පෙළ සකස් විය තිබුණේ මේ උදවිය ගෙන්ය. නමුත් ඒ වෙනුවට සජබ කරළිය ඉඩවෙන්කර ඇත්තේ ජවිපෙ පන්නයේ කඩාකප්පල්කාරී අදහස් දරන, දියුණු මතවාද, විසඳුම් යෝජනා සමඟ අභිමුඛ වන දේශපාලනයක් වෙනුවට සියල්ල මඩින් ගොඩදාන්න වෙරදරන කිහිපදෙනෙකු වෙනුවෙන්ය. නැතිනම් නොම්මර එකේ මඩකරියන් කිහිපදෙනෙකු මේ අවස්ථාවේ සජබ වේදිකාවට නංවා ඇතැයි කිව්වාද වැරදි නැත. දැන් ඉතිං වැදගත්කමක් ඇති සජබ දේශපාලන නායකයන් අත්දැකීමෙන් ඉගෙන ගනිමින් සිටින පාඩම නම්, "හොඳින් පාවිච්චි කළ පැරණි කරත්තය නොසැලකිල්ලෙන් පාවිච්චි කළ අලුත් කරත්තයට වඩා කල් පවතින" බවය.

කොහොමටත් සජිත් කියන්නේ නායකත්ව ලක්ෂණ නිසා හෝ දක්ෂතාව, දැනුම , බුද්ධිය මත දේශපාලන පෙතේ ඉදිරියට පැමිණි අයෙක් නොවේය. ඔහුට තිබු එකම සුදුසුකම නම් ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිගේ පුතා වීමය. නැත්නම් එහිම කොටසක් වූ උපන් ගෙයි හීනමාය ය. රනිල් සමඟ සපත්නිරෝෂයෙන් පෙළුණු කිහිපදෙනෙකු විසින්ය සජිත් එජාපය තුළ විකල්පය ලෙස ගොඩනැගුවේද එය ප්‍රයෝජනයට අරගෙනය. ඊට අවශ්‍යම වූ මතවාදී අඩුවැඩිය ලැබුණේ උතුරේ යුද්දය නිසා දකුණේ ඇතිවූ රැල්ල හරහාය. ඊට "රාජපක්ෂවාදය" කිව්වාටද වරදක් නැත. දකුණ තුළ මේ රාජපක්ෂවාදය කොතරම් ඉහළට එසවුනාද කිව්වොත් , ජාතිකවාදයේ කොඩිය දේශපාලනය කරගන්න සිටි චම්පිකලා, විමල්ලාට පවා රාජපක්ෂ කඳවුරෙන් පිට පැවැත්මක් තිබුණේ නැත. එසේම සමාජවාදී සමාජ විප්ලවය වෙනුවෙන් ජාතික විමුක්ති අරගලයක් දියත් කිරීමට අගිස්සවූ ජනතා විමුක්ති පෙරමුණට පවා, සිය දේශප්‍රේමය තහවුරු කරන්නට නම් රාජපක්ෂ කඳවුර තුළට අඩිය තියලාම පෙන්වන්න සිදුවිය.

එදා ඒ රැල්ලේ පීඩනය එක්සත් ජාතික පක්ෂයටද නොදැණුනා නොවේය. "අපිත් දේශප්‍රේමී, ජාතිවාදී ලයින් එකට නොගියොත් මෙදා පොටේ බලය ගන්න වෙන්නේ නෑ" වැනි යෝජනා ඒ කාලයේ එජාපය ඇතුළේ සිටි ඇතැමුන් රනිල් වික්‍රමසිංහ නායකයාට යෝජනා කළේද ඒ අනුවය. එහෙත් රනිල් ඒ ජනප්‍රියවාදී ප්‍රවණතා ප්‍රතික්ෂේප කර සිටියේය. එපමණක් නොව පක්ෂය ඒ වෙත ඇදී යන්නට ඉඩනොදෙන බාධාව බවටද පත්ව සිටියේය. ඒ රැල්ලක් ලෙස නැගුනු රාජපක්ෂ වාදයට වසඟ වුණොත් විය හැකි දේ සම්බන්ධයෙන් දැක්මක් අවබෝධයක් රනිල්ට තිබුණු නිසාය. එසේම කවදත් නායකයකු ලෙස රටේ ජාතික අභිලාශ වෙනුවෙන් මිස , බලය වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කිරීම නිවැරදි නොවන බවට මතයේ තරයේම සිටි නිසාය.

එහෙත් කාලෙන් කාලෙට එන රැලි වලට ඇති කරගන්නා වසඟ නැතිකරලීමත් එහෙම පහසු නැත. එජාපයේ සමහරුත් තමන්ගේ කඳවුරටත් රෙද්ද බැනියම අඳින , මහින්ද වගේ අතවනන , දුවන පනින, සෙල්ලම් කරන, නායකයෙක් ඕන කියා පක්ෂ අභ්‍යන්තරයේ කැරළි ගහන්න ගත්තේ අන්න ඒ වසඟය නිසාය. ඒ සඳහා කැරළිකාර කණ්ඩායම් වල තෝරාගැනීම වූයේද වසඟය විසින් හසුරවිය හැකි, වසඟයට පහසුවෙන් අවනත වන ආකාරයේ නායකයෙක්ය. සැබවින්ම එදා එජාපය තුළ එවැන්නෙක් සිටි අතර ඒ සජිත් ප්‍රේමදාස ය.

සිරිකොත වටලා ගල් ගසා තර්ජනය කරන තැනට එදා රාජපක්ෂවාදයේ එජාප වසඟය පත්ව සිටියත් රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය වෙනස් කළේ නැත. ඒ වෙනුවට රනිල් එදා පක්ෂයට ලබාදුන් පණිවිඩය වූයේ "2014 වෙනකොට බලය ගන්න ලෑස්ති වෙන්න" කියාය. එහි ප්‍රතිඵලය වූයේ 2015 දී රාජපක්ෂ ආණ්ඩුව පෙරළා , විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකිවීමය. අමතක නොකළ යුතුම කරුණ වන්නේ සජිත්ලා මෙන්ම අද සජබය නියෝජනය කරන බහුතරයක් එදා අමාත්‍යවරුන් ලෙස නිදහසේ සෙල්ලම් දැමුවේ රනිල් හදාදුන් පිටියේ බවය.

වසඟය කියන්නේ එහෙම ලේසියෙන් වෙනස් කරන්න පුළුවන් තත්වයක් නොවන නිසා 2019 පරාජයෙන් පසුව යහපාලන ජයග්‍රහණය කණපිට හැරවූයේ කවුද යන්න ගැන නිවැරදි දේශපාලන කියවීමකට යාමටද ඔවුන්ට නොහැකි විය. එහි අවසන් ප්‍රතිඵලය වුයේ සජිත්ලා පක්ෂය කඩාගෙන අලුත් පක්ෂයක් අටවා ගැනීමය. ඒ ගිය කාගේත් තක්සේරුව වූයේ රනිල්ගේ ප්‍රතිපත්ති සමඟ අතුරේ යන දේශපාලනයට වඩා වසඟය සමඟ යන සජිත්ගේ ගමන සුවදායි වනු ඇති බවය.

කොහොම නමුත් වසඟයේ තරම සජිත් පස්සේ වැටුණු උදවිය අත්දැකීමෙන් ඉගෙන ගන්නේ එතැන් සිටය. සජිත් මෙන්ම එජාපය බිඳගෙන යන්න යෝජනා කළ උපදේශක බානත් නොදැන සිටියේ, "ඔරිජිනල්" ඇති විට ඒ අගයන කවුරුත් "ඩුබ්ලිකෙට්" පස්සේ වැටෙන්නේ නැති බවය. ඒ නිසා සිදුවුණේ "වෙන්ඩ මහින්ද" වෙන්න ගිය සජිත්ට මහින්දට පමණක් නොව මහින්දගේ මල්ලි හමුවේත් අන්ත පරාජයක් ලැබීමය. රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනයත් සමඟ සජබ හරහා බලය ගැනීමක් තබා සජිත් විපක්ෂ නායක ලෙස තහවුරුවක් ගැනීමට තරම් නොහැකිව කඩාවැටෙන අන්දමය. කොරෝනා වසංගතය අවස්ථාවේ කැඳවුණු සර්ව පාක්ෂික සමුළු අවස්ථාවේ සජිත්ගේ හැසිරීම සිහිකර ගැනීම ඊට හොඳටම ප්‍රමාණවත්ය.

කෙසේ හෝ වේවා, ඩුබ්ලිකෙට් මහින්ද ලෙස සජිත් , මහින්දට වඩා රාජපක්ෂවාදයට වැටෙන්න ගොස් අවසානයේ රාජපක්ෂ ග්‍රවුන්ඩ් එකේ හතර අතේ ඇන ගත්තා පමණක් නොව පාර්ලිමේන්තුව තුළත් එයින් පිටත් එකසේ විහිළුවටද ලක්විය. අවම වශයෙන් අරගලය අවස්ථාවේ බලය ගැනීම සඳහා ඉදිරිපත්වීමට තරම්වත් ධෛර්යයක් ඔහුට තිබුනේ නැත. පසුව ජනාධිපති තෝරාගැනීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු ජන්ද විමසීම වෙනුවෙන් විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටවත් අවස්ථාව හෝ ඔහුට ලැබුණේ නැත. ඒ විපක්ෂය තුළ සජිත්ට ලැබුණු තැනය. රැල්ලේ නායකත්වය ගන්න ඩුප්ලිකේට් වෙන්න ගිහින් සජිත් වැටුණු තැන එහෙමය.

නමුත් මේ සියල්ල ඉදිරියේද රනිල් වෙනස් වුණේ නැත. 2020 ආරම්භයේ සිදුකළ බදු සංශෝධනය ඇතුළු වැරදි ජනප්‍රිය ආර්ථික ක්‍රියාමාර්ග හමුවේ රටේ ආර්ථික අර්බුදය උත්සන්න වන ලකුණු පෙන්වන පළමු අවස්ථාවේම රනිල් කිව්වේ , වහාම IMF වෙත ගිහින් විසඳුමක් ලබාගන්නා ලෙසය. අධික ලෙස මුදල් මුද්‍රණය කළහොත් රටේ අධි උද්ධමනයක් ඇතිවීමේ අනතුරක් එයි කියාය. රනිල් එසේ කියන විට සජිත් කිව්වේ, අන්න රනිල් රාජපක්ෂලාගේ උපදේශකයා වෙලා කියාය. නමුත් ඒ මොහොතේ රනිල් දුටු දේ සජිත් කොහොම නම් දකින්නද ? ඉංග්‍රීසි භාෂාවේ තිබෙන බරපතළම වචන ටික කටපාඩම් කරගෙන සජිත් වහගන්න ප්‍රයත්න දරන්නේද ඒ සිදුරය. එහෙත් වහන්න වහන්න සිදුවන්නේ යලිත් ඒ සිදුර වැඩි ගැඹුරකින් විශාලත්වයකින් මතුවීමය.

සජිත් කෝචෝක් දැම්මට රනිල් කියපු ලෙසටම ආර්ථික අර්බුදය උග්‍රව පැමිණියේය. ඒද එසේ මෙසේ ආකාරයකට නොව ඉතිහාසයේ රට මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය වශයෙන්ය. එහිදී අර්බුදයට ප්‍රායෝගික විසඳුමක් කියන්න ධෛර්යය තිබුණේ රනිල්ට විතරය. ඔහු විසඳුම කිව්වා පමණක් නොව එය ක්‍රියාවට නගන ආකාරයද කිව්වේය. රනිල් කියන අර්බුදය විසඳන පාර, ඊට ඇති "හරිම පාර" බව මේ වන විට රාජපක්ෂ කඳවුර පවා පිළිගෙන හමාරය. එතැනින් නොනැවතුණු එම කඳවුරේ බහුතරය ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට ඇදහිය නොහැකි දායකත්වයක්ද සපයමින් ඇත.

නමුත් මේ සහය සෑම ආකාරයකින්ම ලබාදීමට හැකි ආසන්නම පිරිසක් සජබ තුළත් ඇත. නමුත් එතරම් දියුණු දේශපාලන පියවරක් තබන තැනක කවුරු හිටියත් සජිත් නැත. සජිත් ගේ දේශපාලන විශ්වාසය ඇත්තේ රැල්ලට එන වසඟය තුළය. ඒ එනිසා රාජපක්ෂවාදය තුළ ගොඩයන්න හිතාගෙන "වෙන්ඩ මහින්ද" වෙන්න ගොස් හතර අතේ ඇනගත් සජිත්, දැන් මාලිමා රැල්ලට වසඟව ඇත. ඒ හමුවේ දැන් සජිත් ගේ විශ්වාසය "වෙන්ඩ අනුර" ය.

ඒ නිසා දැන් සජිත්ගේ වැඩ සියල්ල ජවිපෙ වගේමය. ආණ්ඩුව කරන සියල්ලට විරුද්ධය. ඕනෑම හොඳ වැඩක නරක අංශුවක් දැක්කත් හොඳක් නම් දකින්නේම නැත. එසේම කිසිම ප්‍රශ්නයක් සම්බන්ධව විසඳුමක් හෝ විකල්පයක් කියන්නේද නැත. කොයි වැඩෙත් කඩාකප්පල් කරන එක, දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එක බවට පත්කරගෙනය.

සජිත් ජවිපෙ මාලිමාවට කොතරම් වසඟ වෙලාද කියතොත් උත්සාහ ගන්නේම ජවිපෙටත් වඩා ඒ පිටියේ ගැඹුරට බහින්නටය. තත්ත්වය කොතරම් අසාධ්‍ය දැයි කිවහොත් සජිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවා ප්‍රසිද්ධියේ සත්තම් දාන තැනට වැටී ඇත. ඒ මේ ආණ්ඩුව එක්ක ගහන ගිවිසුම් සජබ ආණ්ඩුවකට අදාළ නෑ කියමින්ය. IMF ගනුදෙනුව යන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය සමඟ මිස රනිල්ගේ හෝ වෙන කාගේහෝ ආණ්ඩු සමඟ නොවන බවට වන සරල කරුණ පවා මඟ හැරෙන තැනට සජිත් ගෝත්‍රිකව ඇත. සජිත් ඒ තරමට ගෝත්‍රික තැනකට වැටුනත් මාලිමා වේදිකාවේ කොතැනවත් ජවිපෙ අනුර IMF වලට වචනයක් කියන්නේ නැත. ඒ IMF හැර මේ මොහොතේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ආරම්භයක් ගැනීමට වෙනත් විකල්පයක් නැති බවට රනිල් දරන ස්ථාවරය නිවැරදි බවට අනුර ද විශ්වාස කරන නිසාය.

ඒ හමුවේ සජිත් පස්සේ වැටුණු උදවියගේ පමණක් නොව සජිත් ගේ ඉරණම සෝචනීයය. නමුත් කරන්න දෙයක් නැත. සජිත් ඒ රැල්ලටත් වසඟවෙලා හමාරය. ආණ්ඩුව කරන්නේ ඒ සියල්ලට විරුද්ධය. අදහස් , විසඳුම්, මතවාද යෝජනා සමඟ හැපෙනවා වෙනුවට අතින් පයින් වැඩ බේරගන්න , හැප්පෙන තරමට සජිත් මේ වෙනකොට ජේවීපී වෙලා හමාරය. සජිත් මෙතනත් වැරැද්ද ගත්තේ තමන් ඩුප්ලිකේට් වෙලා බැහැලා ඉන්නේ අනුන්ගේ පිටියක බව නොදැන සිටීමය. දොස්තර හොඳ හිත රනිල් වෙද්දී, ඒ පිටියේ දිය රකුස් අනුර ය. දොස්තර හොඳ හිත රනිල් සමඟ හැපෙන දිය රකුස් අනුර හැර වෙන කාටවත් ඒ පිටියේ එකේ සෙල්ලම් දාන්න ඉඩක් නැත. ජවිපෙ කාඩරය ඊට ඉඩ දෙන්නෙත් නැත. ඒ නිසා දැන් සජිත්ට ඉතුරුව ඇත්තේ , දිය රකුස් අනුරට පස්සේ කැපී පෙනෙන චරිතය වීමටය. ඒ "චව්චව් සජිත්" වැන්නෙක් ලෙසය. අනුරටත් වඩා අනුර වෙන්න යන ගමනේ චව්චව් වගේ , "එනවා නානවා යනවා " පන්නයේ වැඩ වැඩිපුර කර හෝ පැවැත්ම තහවුරු කරගන්නය. සජිත් ජවිපෙට වඩා විශාල ලෙස වේදිකා තනවන්නේද , ජවිපෙ එක ජන හමුවක් පවත්වන විට සජිත් ජනහමු දහයක් පවත්වන්නේද , ඒ ස්ථාන සඳහා ජවිපෙට වඩා බස් පුරවා සෙනග අදින්නේද , ජවිපෙ හෙමින් කියන බොරු සද්දෙන් කියන්න සජිත් කටයුතු කරන්නේද ඒ නිසාය. නමුත් ඒ පිටියේ තැන ඇත්තේ අනුරට මිස සජිත්ට නොවේය. ඒ කියන්නේ ඩුබ්ලිකෙට් මහින්ද වෙන්න ගිහින් ඇනගත්ත සජිත් ඩුබ්ලිකෙට් අනුර වෙන්න ගිහින්ද ඇනගනිමින් සිටින බවය.

සජිත්ගේ ඉරණම එසේ ඇඳෙන විට ජනාධිපති ඉන්නේ කොතනද යන්නත් වැදගත්ය. මේ වන විටත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදළේ 'විස්තීරණ ණය සහන පැකේජය මෙරටට ලැබීම දැන් තහවුරුව හමාරය. මාර්තු මස අවසානයේ එහි පළමු වාරිකය ලැබෙනු ඇති බව රජයේ අපේක්ෂාවය. ජනාධිපති රනිල් කඩිනමින් ගත් රැඩිකල් , නිර්භීත, නිවැරදි දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා නිසා වසරක් ඇවෑමෙන් හෝ මුල්‍ය අරමුදලේ සහයත් රටේ ආර්ථික නිවැරදි මාර්ගයේ ගමන් කරනවාය කියන අරමුදලේ සහතිකයත් ලබාගැනීමට හැකි විය. ශ්‍රි ලංකාව තරම්වත් ආර්ථික අර්බුදයකට මුහුණ නොදුන් පකිස්ථානය 2019 වසරේ සිටම මුල්‍ය අරමුදලෙ ණය සහනයක්' අපේක්ෂාවෙන් කටයුතු කළත් තවමත් කාර්ය මණ්ඩල මට්ටමෙ හෝ එකඟතාවකට පැමිණිමට නොහැකිව ඇත. ඒ අතර කාලය තුළ ආණ්ඩු පාලන දෙකක් පකිස්ථානයේ බිහි විය.' පාලකයන් වෙනස් වූවා කියා රටවල ප්‍රශ්න විසඳෙන්නේ නැති බව තේරුම් ගන්න පකිස්ථානයේ මේ සිදුවීමත් ප්‍රමාණවත්ය. එය කළ හැක්කේ නිවැරදි ප්‍රතිපත්ති සැලසුම් වැඩපිළිවෙල වල අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි නම් පමණය. මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස එවැනි නිවැරදි ක්‍රමවේදයකට රට ගෙන ගියා පමණක් නොව පැරණි අයහපත් දේ සහමුලින්ම පෙරලා දමා අලූත් පාලන ව්‍යුහයක් සකස් කිරීම සම්බන්ධයෙන් ලෝකයටත් පාඩමක් උගන්වා ඇත.

විපක්ෂ නායක සජිත් රැල්ලේ වසඟයක්ව "චව්චව්" ට අඳින විට, අනාගතයක් නෑ කියූ රනිල්, ජනවරමක් නැතැයි කියූ රනිල්, ජාත්‍යන්තර සහයක් නැතැයි කියූ රනිල්, ඉතිහාසයේ දුෂ්කරම අවස්ථාවේ ජනාධිපති ලෙස පත්ව ලෝකයටම ආදර්ශයක් දී ඇත. රනිල් යුගය ඇරඹෙන්නේ එහෙමය.

කුලසිරි ලියනගේ