වර්ජන යකා හිතපු තරම් කළු නෑලු !

වර්ජන යකා හිතපු තරම් කළු නෑලු !

නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති කිහිපයක් අද (15) දිනය තුළ දියත් කළ වැඩ වර්ජනය හමුවේ වුවද මහජනතාවට ලබාදෙන සේවය අඩපණ නොකර ලබාදීමට හැකි වූ බව රාජ්‍ය ආයතන ප්‍රධානීහු පවසති.

නව බදු ප්‍රතිපත්තිය අදාළ නොවන වෘත්තීය සමිති පවා වර්ජනයට කැඳවමින් රාජ්‍ය අංශයේ කටයුතු අඩාල කිරීමේ උත්සාහයක් ද පැවති බවත් ඔවුන් සඳහන් කරයි.

කැඳවා තිබූ වැඩ වර්ජනය වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධ නොවන්නක් බැවින් බොහෝ වෘත්තීය සමිති වර්ජන කටයුතුවලින් බැහැරව දෛනික රාජකාරී කටයුතු පවත්වා ගෙන යාමට සහාය වූ බවත් ඔවුහු පෙන්වා දෙති.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන  සඳහන් කර සිටියේ ජාතික රෝහලේ කටයුතු 80% ක පමණ මට්ටමකින් ක්‍රියාත්මක වූ බවයි.

හෙදියන්ගෙන් 99%ක් සේවයට වාර්තා කර ඇති බවත් බාහිර රෝගී අංශය හැර අනෙකුත් අංශ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු ලබන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් තහවුරු කළේ අද පෙරවරු 11.00 වන විට දිවයින පුරා ඩිපෝ 107ම නියමිත කාලසටහනට අනුව ක්‍රියාත්මක වූ බවයි.

ඒ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති 08 න් ජනතා විමුක්ති පෙරමුණට අයත් වෘත්තිය සමිතිය හැර සෙසු වෘත්තිය සමිති 07 ම සහයෝගය ලබා දුන් බවද ඔහු පැවසීය.

මේ අතර ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බව එහි සභාපති එම්.යූ. මොහොමඩ් මහතා පැවසුවේය.

ඒ අනුව සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා අද දින පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම් කෙරුණ බවද ඔහු සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා සඳහන් කර සිටියේ දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය ගමන්වාර 21ක් ක්‍රියාත්මක කළ බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු කටයුතුද සාමාන්‍ය පරිදි සිදු වූ බව බැංකු ප්‍රධානීන් සඳහන් කරයි.

මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා පවසා සිටියේ මහජන බැංකුවේ ශාඛා 352න් 330ක් පූර්ණ ලෙස අද මධ්‍යාහ්නය වන විට ක්‍රියාත්මක වූ බවය. එසේම පෙරවරු 10.30 වන විට කාර්‍ය මණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බවත් ඔහු පැවසීය.

මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා  සඳහන් කළේය.

එසේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු වූ බව එම බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය පවසා සිටියේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ මෙහෙයුම් කටයුතුද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව එහි ප්‍රකාශකයෙකු පැවසීය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ මුදල් භාර නිලධාරී සංගමය එහි සාමාන්‍යාධිකාරීවරයා දැනුවත් කර තිබුණේ තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න