අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් නව ගිවිසුමකට අත්සන් තැබේ !

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් වෙනුවෙන් නව ගිවිසුමකට අත්සන් තැබේ !

ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම් පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් (Justion Divis) ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූහ.

බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට මේ යටතේ සැලසුම් කර තිබේ.

ණයවර ලිපි විවෘත කර බිල්පත් පියවන අවස්ථාවේ ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට නොහැකි වීම නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) මෙන්ම ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට (LIOC) සැලසුම් කළ පරිදි ඉන්ධන තොග ගෙන්වා ගැනීමට පසුගිය කාලයේදී නොහැකි විය.

එබැවින් පාරිභෝගිකයින්ට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මඟින් මෙම උපාය මාර්ග සැලසුම් දියත් කෙරිණි.

එහි පළමු අදියර ලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව, මෙරට තුළ ක්‍රියාත්මක බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලය තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල ස්ථාපිත කීර්තිමත් සමාගම්වලට ආයෝජනය සඳහා ආරාධනා කරන ලදී.

එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් මෙහෙයුම් ආරම්භ කර වසරක කාලයක් තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන මිලදී ගැනීම සඳහා තමන්ගේම අරමුදල් යොදා ගත යුතුය. මේ සඳහා ඔවුන්ගේ එකඟතාව ලැබීමෙන් පසු කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම්වලට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරිණි.

2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධිත) පනතේ විධිවිධාන ප්‍රකාරව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව (CASC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) විසින් එම යෝජනා මනා ලෙස පරීක්ෂා කර, සාකච්ඡාවලට යටත්ව පහත සඳහන් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම නිර්දේශ කරන ලදී.

එම සමාගම් වන්නේ,
• Sinopec Fuel Oil Lanka (Private) Limited, F5, හම්බන්තොට මැරිටයිම් සෙන්ටර්, මිරිජ්ජවිල, හම්බන්තොට.
• United Petroleum Pty Ltd, 600, ග්ලෙන්ෆෙරි පාර, හෝතෝන්, වික්ටෝරියා 3122, ඕස්ටේලියාව.
• Shell PLC සමඟ සහයෝගයෙන් RM Parks, 1061 N. මේන් ස්ට්‍රිට්, පෝටර්විල්, කැලිෆෝනියා 93257, ඇමරිකාව.

සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා පුද්ගලික සමාගම (M/s Sinopec Fuel Oil Lanka (Private) Limited සහ එහි මව් සමාගම් සමඟ රට තුළ සිල්ලර ඉන්ධන ව්‍යාපාරයට අවතීර්ණ වීමට අවස්ථාව සැලසෙන පරිදි පසුගිය මැයි මස 22 වනදා රජය සමඟ ගිවිසුමකට එළැඹිණි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.{gallery}RM Parks Inc{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න