පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ජනපති හමු වෙයි

පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් ජනපති හමු වෙයි

ප්‍රාදේශීය සභා, පළාත් සභා හා මධ්‍යම රජය යන අංශ තුනෙන් ම සේවා සැපයීමේදී සිදුවන මුදල් නාස්තිය වළක්වා ගැනීම සඳහා මෙම යාන්ත්‍රණ තුනෙහි ම ක්‍රියාකාරීත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමග ඊයේ (අගෝ. 17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.

පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කර මසක් තුළදී ඒ පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබෙන බව ඔහු ප්‍රකාශ එහිදී කළේ ය.

“මධ්‍යම රජයේ පරිපාලන ක්‍රමය පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙය ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳ අප සාකච්ඡා කළ යුතු යි. ඇතැම් අවස්ථාවල ප්‍රාදේශීය සභාව, පළාත් සභාව හා මධ්‍යම රජය යන අංශ තුනෙන් ම එකම ආකාරයේ සේවාවන් ලබා දීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස ගතහොත් කාණු කැපීම සහ විදුලි කාණු සිටුවීම හා මාර්ග ඉදිකිරීම පෙන්වා දිය හැකි යි. එලෙස කටයුතු කිරීමේදී විශාල මුදල් නාස්තියක් සිදු වෙනවා. එසේ නම්, මෙම යාන්ත්‍රණ තුනෙහි ම ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසිය යුතු යි. ඒ සඳහා පළාත් ප්‍රධාන ලේකම්වරුන් සමග සාකච්ඡා කර මාසයක් ගත වීමට පෙර ඒ සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස මම උපදෙස් දී තිබෙනවා. පළාත් සභා ක්‍රියාත්මක නොවන නිසාත්, පළාත් සභාවල ඇමතිවරු නොමැති නිසාත් පළාත් සභා ක්‍රමය යටතේ අද සම්පූර්ණ පාලන බලය තිබෙන්නෙ පළාත් ආණ්ඩුකාරවරුන් වන ඔබට යි. පසුගිය වසර අපට ඉතා අසීරු කාලවකාවනුවක් වුණා. ඒ බව නැවත සඳහන් කිරීම අවශ්‍ය නැහැ කියා මම විශ්වාස කරවා. රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දෙන අතර ම රටේ පාලන ක්‍රමය යථා තත්ත්වයට ගෙන ඒමට අප කටයුතු කළ යුතු යි. විශේෂයෙන් බිම් මට්ටමේ සේවා ලබාදීම සිදු වන්නේ පළාත් සභා මගිනුයි. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් සේවා ලබා දීම මධ්‍යම රජය යටතේ සිදු වෙනවා. මෙම සේවාවන් ලබා දීමේ දී තරගයකින් තොරව ඒකාබද්ධව මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතු යි.”

ජනාධිපතිවරයා තවදුරට ත් සඳහන් කළේ, මන්දපෝෂණ තත්ත්වය පසුගිය වසරට වඩා අඩු වුවත් එමගින් සෑහීමකට පත් වීමට නොහැකි බව ත්
රටේ ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය අවම කර ගැනීමට අස්වැසුම වැඩසටහන ද හේතු වූ බව ත් අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභය සමෘද්ධියට වඩා වැඩි බව ත් ය.

“ආහාර සුරක්ෂිතතා වැඩසටහන අප දැන් රට පුරා ම ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව, ඉදිරි මහ කන්නයේදී වැඩි අස්වැන්නක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය පසුගිය වසරට වඩා අඩු වුව ද අපට එයින් සෑහීමකට පත් විය නොහැකියි. රටේ ජනතාවගේ මන්දපෝෂණ තත්ත්වය අවම කර ගැනීමට අස්වැසුම වැඩසටහන ද හේතු වූ බව කිව යුතු යි. අස්වැසුම වැඩසටහන යටතේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභය සමෘද්ධියට වඩා වැඩි වෙනවා. විශේෂයෙන් ම ලබන වසර අවසාන වන තුරු පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන නිසා මෙම පළාත් පාලන කටයුතුවලට සම්බන්ධවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අවස්ථාවක් ලබා දිය යුතු යි. එහිදී ආණ්ඩුකාරවරයා සමග එකට වැඩ කළ හැකි වන පරිදි විශේෂ උපදේශක කාරක සභාවක් පත් කිරීමට ද අපේක්ෂා කරනවා. විශේෂයෙන් ම අධ්‍යාපනය, වෘත්තීය පුහුණු කටයුතු මෙන් ම ඒ ඒ පළාත්වල නව විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. විශේෂයෙන් ම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් පළාත් මට්ටමින් සංචාරක මණ්ඩල පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේ ම ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් දිරි ගැන්වීමේ වැඩසටහන් රැසක් ඉදිරියේදී පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව කිව යුතු යි.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න