නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව 07වැනිදා සිට

නිවසේ සිටම වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව 07වැනිදා සිට

ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය (eRL 2.0) හඳුන්වාදීම මේ මස 07 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පැවසීය.

මෙම වැඩසටහන බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල ක්‍රියාත්මක වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම නව ක්‍රමය මගින් නිවසේ සිට මෝටර් රථවාහන ආදායම් බලපත්‍ර (eRL 2.0) ලබාගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්  මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කනක හේරත්  මෙසේද පැවසීය,

මේ රටේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට මෙන්ම අක්‍රමිකතා අවම කර ගැනීමට සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි.

එනිසා මේ පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය ප්‍රකාශය හරහා මෙරට සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව සඳහන් කළා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක් කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය සභා, නගර සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන නවයක් තෝරා ගෙන නියමු ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මක වෙනවා.

මීට අමතරව මේ මස 07 වැනිදා සිට (eRL 2.0) වාහන ආදායම් බලපත්‍ර ද මාර්ගගත ක්‍රමය තුළින් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

බස්නාහිර පළාත හැර සෙසු පළාත් 8ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. මේ වැඩසටහන සෑම රාජ්‍ය ආයතනයකටම ව්‍යාප්ත කිරීමට සහ ලබන වසරේ මාර්තු මස වන විට සියයට සියයක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ගෙවීම් කටයුතු කර ගැනීමට අවශ්‍ය කටයුතු ද සිදු කෙරෙමින් පවතිනවා.

ඩිජිටල්කරණය තුළින් සමස්ත රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂමව කිරීම හා ශක්තිමත් කිරීම ලබන වසර වන විට සිදු කර ගැනීමට කටයුතු කරනවා. එම වැඩඩපිළිවෙළ සාක්ෂාත් කර ගැනීමට ‘ඩිජිකොන් 2023-2030’ වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ආරම්භ කර තිබෙනවා.

මෙයට සමගාමීව තාක්ෂණ ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ පැවැත්වීමට මෙන්ම තරුණ තරුණියන් වෙනුවෙන් උපහාර උත්සව ද සංවිධානය කර තිබෙනවා. රටේ නව ව්‍යාපාර ආරම්භ කිරීම වෙනුවෙන් වූ ඩිජිටල් ආයෝජන සමුළුව ඔක්තෝබර් මස 13 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පවත්වනවා. මේ සඳහා ආයෝජකයන් 100ක් පමණ සහභාගි වීමට නියමිතව තිබෙනවා.

මෙමගින් රටේ ආයෝජන ශක්තිමත් කිරීමට ඉවහල් වෙනවා. ඩිජිකොන් වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය මෙරට ඩිජිටල් ආර්ථික සැලැස්මක් ගොඩනැඟීමයි. කෙටි කාලයක් තුළ ඩිජිටල් ආර්ථිකය තුළින් විදේශීය විනිමය උපයා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් මේ තුළින් බලාපොරොත්තු වෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න