Language Switcher

V2025

ධම්මිකගේ නම නාමල් අනුමත කරලා : රාජපක්ෂවරුන් දුරදිග මෙහෙයුමක !

තාත්තා රටේ ජනාධිපතිවරයකු වූ පමණින් ඔහුගේ දරුවාට බැට්න් එක ප්‍රදානය කිරීමට නොහැකි බවත් නායකත්වය කාලානුරූපීව වෙනස් වන්නක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි.

ඊට අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි පාක්ෂිකයන් විසින් තීරණය කරනු ඇති බවත් ආසන බලමණ්ඩල සාකච්ඡාවලදී ඒ ගැන තීරණ ගැනීමට නියමිත බවත් මන්ත්‍රීවරයා සඳහන් කළ බවද එම මාධ්‍ය වාර්තා පවසයි.

එසේම ධම්මික පෙරේරා  ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමට කැමැත්ත පල කිරීම තුළින් පොදුජන පෙරමුණේ ස්ථාවර භාවය පිළිබිඹු වන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී ඇති බවත් වැඩිදුරටත් දැක්වෙයි.

ධම්මික පෙන්වා නාමල් ගොඩයවන තැතක් !

පසුගිය සති අන්ත පුවත්පතක් සඳහා ප්‍රකාශයක් කරමින් මෙරට සිටින බිලියනපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමේ තම සූදානම ප්‍රකාශ කර තිබිණ.

එහිදී ඔහු පක්ෂයක් සඳහන් කර නොතිබූ නමුත් ඊට පෙර සිට දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් පැවතියේ ධම්මික පෙරේරාට පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට රාජපක්ෂවරුන් ගේ සූදානමක් ඇති බවය.

අනතුරුව ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ධම්මික පෙරේරා වෙත ලබාදී, පොදුජන පෙරමුණේ නායකත්වයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පත්කිරීමට සූදානමක් ඇති බවටත් දේශපාලන ක්ෂේත්‍රයේ රාවයක් ගිය අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ගේ මෙම ප්‍රකාශය ඒ බව තහවුරු කෙරෙන්නක් බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

කෙසේ වුවත් දේශපාලන විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු සඳහා මීළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඉඩක් නොමැති බවයි. එබැවින් ධම්මික පෙරේරා ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා පෙන්නුම් කර පක්ෂයේ නායකත්වය පහසුවෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ලබාදී ඔහුව විපක්ෂ නායක ලෙස ඊළඟ වටය සඳහා සූදානම් කිරීම රාජපක්ෂවරුන් ගේ උපක්‍රමය ලෙස තක්සේරු කළ හැකි බව විචාරක මතය වී තිබේ.