අස්වැසුම ගැටළු විසඳන්න විශේෂ සතියක් නම් කරයි !

අස්වැසුම ගැටළු විසඳන්න විශේෂ සතියක් නම් කරයි !

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ ‍පවතින ගැටළු විසඳීමට නොවැම්බර් 06 වැනිදා සිට 11 වැනිදා දක්වා ‘අස්වැසුම සතියක්’ ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

අස්වැසුම ප්‍රතිලාභීන් ලෙස සුදුසුකම් ලබා ඇති නමුත් මෙතෙක් ප්‍රතිලාභ ලැබී නොමැති පවුල් මෙන්ම තාක්ෂණික ගැටළු හේතුවෙන් ප්‍රතිලාභ ප්‍රමාදවී ඇති පවුල් සඳහා කඩිනමින් ප්‍රතිලාභ ලබාදීමට මෙමඟින් හැකිවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙම අදහස් පළ කළේ, "ස්ථාවර රටකට- සැවොම එක මගකට" මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි .

ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා සියළුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල එක්ව මෙම සතිය තුළදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගැටළු විසඳීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය මුදල් අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර ජූලි මාසය සඳහා සියලුම ගෙවීම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවා ඇති අතර අගෝස්තු මාසය සඳහා ගෙවීම් කටයුතු ලබන බදාදා සිට ආරම්භ කරන බවද ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙසේ ද පැවසීය.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන මේ වන විට විශාල ප්‍රගතියක් ලබා තිබෙනවා. නමුත් තවදුරටත් අස්වැසුම ප්‍රතිලාභීන්ට තිබෙන ගැටළු විසඳා ගැනීමට ‘අස්වැසුම’ විශේෂ සතියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම වසර සඳහා ඉදිරිපත් කර ඇති අයදුම්පත් සම්බන්ධයෙන් විසඳී නොමැති ගැටළු මෙහිදී නිරාකරණය කරන්න බලාපොරොත්තු වනවා.

මෙය කිසිසේත්ම ලබන වසර සඳහා අස්වැසුම ප්‍රතිලාභීන් තොරාගනු ලබන අයදුම්පත් කැඳවීමක් නොවෙයි. මේ පිළිබඳව සුබසාධක මණ්ඩලය විසින් සියලුම ප්‍රාදේශය ලේකම් කාර්යාල දැනුවත් කිරිමට කටයුතු කරමින් සිටිනවා. මෙම වසරේ තෝරාගෙන ඇති ප්‍රතිලාභීන්ට තිබෙන ගැටළු නිරාකරණය කර ගැනීමෙන් පසු ලබන වසර සඳහා අයදුම්පත් කැඳවීමට සුබසාධක මණ්ඩලයට හැකියාව ලැබෙනවා.

අද සහ හෙට දිනය වන විට ප්‍රතිලාභීන් දහතුන් ලක්ෂ හැටපන් දහසක් සඳහා (1365,000) රුපියල් බිලියන 8.5ක මුදලක් ලබාදීමට අප කටයුතු කරනවා. ඒ අනුව ලබන බදාදා දිනයේ සිට ප්‍රතිලාභීන්ට නියමිත මුදල් ලබා ගත හැකියි. ඉන් පසුව සැප්තැම්බර් මාසය සඳහා ගෙවීම් ලබන මාසය අවසන් වීමට පෙර ගෙවීමට බලාපොරොත්තු වෙනවා. ජූලි මාසයට අදාළ ගෙවීම සිදු කළේ අදියර 07ක් යටතේයි. සැප්තැම්බර් මාසය වන විට මුදල් ලැබූ ප්‍රතිලාභීන් සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකියි. අස්වැසුම ගෙවීම් කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා.

අස්වැසුමට අදාළ ගෙවීම්වලදි මුදල් සම්බන්ධයෙන් ගැටළු මතු වී නැහැ. නමුත් මුදල් ලබාදීමේදී තාක්ෂණික ගැටළු මතුවී තිබෙනවා. එනිසා එම ගැටලු විසඳා ගෙවීම් කඩිනම් කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රතිලාභීන් බැංකු ගිණුම් නිසිලෙස විවෘත නොකිරීම සම්බන්ධව ගැටළු තිබුණා. එම ගැටලුද විසඳීමට අප මේ සතිය තුළ කටයුතු කරනවා.

රටේ සිදුවූ ආර්ථික අවපාතයේදී දිළිදු කණ්ඩායම්වලට සිදුවූ බලපෑම අතිමහත් බව කිව යුතුයි. ඒ පිළිබඳ රජයට හොඳ අවබෝධයක් තිබෙනවා. ඒ නිසා මුදල් ලබාදීම කඩිනම් කිරීමට අප කටයුතු කරනවා. ජූලි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා වන ගෙවීම් දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ අස්වැසුම සුබසාධක වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීමේදී මෙම කටයුතු තවත් විධිමත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිතුමා හා රජය ආර්ථිකය සම්බන්ධයෙන් ගත් තීන්දු තීරණ ජනප්‍රිය නොවුණට එය මේ වන විට ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වයට විශාල ලෙස දායක වී තිබෙනවා. රාජ්‍ය සේවකයින්ට මෙන්ම අනෙකුත් ජනතාවට මෙහි ප්‍රතිලාභ ලැබෙනවා. ශක්තිමත් ආර්ථිකයකට රට ගෙනයාමට හැකි පරිසරය රජයක් ලෙස අප ගොඩනගමින් සිටිනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න