Language Switcher

V2025

"කොට අදින අලි" එක හඬින් ඉල්ලන : රුවන්ගේ ප්‍රතිසංවිධාන වාර්තාව මෙන්න

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සමඟ එක්සත් ජාතික පක්ෂය මුහුණදුන් දේශපාලන අභියෝග මත පක්ෂයේ ජන්ද පදනම ආරක්ෂා කර ගැනීමට සහ වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන්  පක්ෂය ප්‍රතිසංවිධානය වියයුතු ආකාරය දැක්වෙන රුවන් විජේවර්ධන කමිටු වාර්තාව newstube.lk වෙත ලැබී ඇත.

පක්ෂ ප්‍රතිසංවිධානය වෙනුවෙන් සිදුකල යුතු ප්‍රධාන යෝජනා 9 සහ ඒ යටතේ වන අනු යෝජනා කිහිපයකින් එම වාර්තාව සමන්විත වෙයි.

පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීකරණය කරන්න 

එහි සඳහන් පළමු යෝජනාව වන්නේ පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීකරණයට ලක්කළ යුතු බවය. ඒ යටතේ ප්‍රධාන අනු යෝජනා නිර්දේශයන් දෙකක් ඉදිරිපත් කර ඇති අතර ඉන් පළමු වැන්න වන්නේ ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට පසුව පක්ෂ නායකත්වය ජන්දයකට යොමු කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ ඉඩකඩ තිබිය යුතු බවය. 

එහි දෙවැනි යෝජනා නිර්දේශය වන්නේ එම ජන්ද විමසීමේදී ජන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයන්ට ලබාදිය යුතු බවය.

 ප්‍රධාන තනතුරු නව නායකයින්ට දෙන්න : මීළඟ නායකත්වය නම් කරන්න : උප නායක ධුර කිහිපයක් ගෙනෙන්න 

එම කමිටු වාර්තාවේ වන දෙවන ප්‍රධාන යෝජනාව වන්නේ පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ල එනම් පක්ෂ සභාපති, මහ ලේකම්, ජාතික සංවිධායක ඇතුළු තනතුරු වඩා ක්‍රියාශීලී නව නායකයින්ට ලබාදිය යුතු බවය.

ඒ යටතේ අනු යෝජනා නිර්දේශ 5ක් දක්වා ඇති අතර ජන මතයට ගරුකර පක්ෂයේ මීළඟ නායකත්වය පත්කිරීම, රටපුරා පක්ෂ සංවිධාන ගොඩ නැගීමට නියෝජ්‍ය නායකයාට ව්‍යවස්ථාවෙන් බලතල පවරාදීම, ජනතා ආකර්ෂණය සහිත උප නායකවරු කිහිපදෙනෙකු පත්කිරීම, දැනට  පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අයෙකුට පක්ෂ මහ ලේකම් ධුරය ලබාදීම වැනි වැදගත් යෝජනා ඒ අතර වෙයි.

පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කරන්න : නව තනතුරු කිහිපයක් ඇති කරන්න 

එසේම ප්‍රධාන තුන්වන යෝජනාව හරහා පක්ෂයේ ප්‍රධාන තනතුරු වලට අමතරව පක්ෂ ව්‍යුහය ප්‍රතිසංවිධානය කොට නව තනතුරු කිහිපයක් ඇති කිරීමටත් ඊට දක්ෂ ක්‍රියාශීලී නායකයින් පත්කිරීමටත් යෝජනා කර ඇත.

ඒ යටතේද අනු යෝජනා නිර්දේශ 9ක් දක්වා ඇති අතර පක්ෂ සන්නිවේදනය සහ ප්‍රවර්ධනය, මාධ්‍ය හැසිරවීම, සමාජ ජාල, සාමාජික ප්‍රවර්ධනය, සිවිල් සංවිධාන, ජාත්‍යන්තර සම්බන්ධතා, පර්යේෂණ සහ සංවර්ධන සහ පක්ෂයේ මුලස්ථානය සම්බන්ධීකරණය කරන ප්‍රධාන විධායක නිලධාරියෙකු වැන්නෙකු ඇතුලත් නව තනතුරු පිහිටුවීමට යෝජනා කර ඇත.

ග්‍රාමීය සංවිධාන සඳහා අලුත් මුහුණුවරක් !

රුවන් විජේවර්ධන කමිටු යෝජනාවලියේ  එන 4 වන යෝජනාව වනුයේ පක්ෂයේ ග්‍රාමීය සංවිධාන වල දැනට තිබෙන නම් සංශෝධනය කර ආකර්ෂණීය මඟකට ඒවා යොමුකිරීමය.

මන්ත්‍රීධුර නැති ආසන සංවිධායකයන්ට සළකන්න 

පස්වන යෝජනාව හරහා පක්ෂය තුළ ආගමික පදනම ශක්තිමත් කිරීමට යෝජනා කර තිබෙන අතර හයවන යෝජනාවේ අවධානය යොමුකර ඇත්තේ මන්ත්‍රීධුර අහිමි ආසන සංවිධායකයින් සහ කොට්ඨාශ - දිස්ත්‍රික් කළමනාකරුවන් සඳහා රාජ්‍ය ආයතන වල සභාපති, කළමනාකරණ අධ්‍යක්ෂ හෝ උපදේශක වැනි තනතුරු ලබාදීමය.

සිරිකොතේ පුර්ණ ප්‍රතිසංවිධානයක් !

හත්වන යෝජනාව අසන සංවිධායකයන් නොවන පළාත් සභා මන්ත්‍රීවරුන්ට  ඒ ඒ දිස්ත්‍රික්කවල නිශ්චිත කොට්ඨාශ වල වගකීම් පැවරීමටත්, අටවන යෝජනාව හරහා සිරිකොත පක්ෂ මුලස්ථාන කාර්ය මණ්ඩලය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීමට යෝජනා කර ඇත.

එහි වන නවවන යෝජනාව වන්නේ පක්ෂ අරමුදල ශක්තිමත් කිරීමට කටයුතු කිරීමය. 

ප්‍රතිසංවිධාන කමිටුවේ සාමාජිකයන් මෙන්න 

පක්ෂ ප්‍රතිසංවිධානය වෙනුවෙන් මෙම  යෝජනා ඇතුළත් වාර්තාව සකස් කිරීම සඳහා රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ මුලිකත්වයෙන් අග්‍රාමාත්‍යවරයා පිහිටවූ එම කමිටුවේ සාමාජික සංඛ්‍යාව 17 කි.

රුවන් විජේවර්ධන, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, එරාන් වික්‍රමරත්න, සන්දිත් සමරසිංහ, හෙක්ටර් අප්පුහාමි, වඩිවේල් සුරේෂ්, ලක්ෂ්මන් විජේමාන්න, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, තුසිතා විජේමාන්න, ලකී ජයවර්ධන, බුද්ධික පතිරණ, නලින් බණ්ඩාර, රෝහිණී කවිරත්න, අශෝක ප්‍රියන්ත, එස්.එම්.මරික්කාර්, කාවින්ද ජයවර්ධන එම සාමාජිකයින් 17 වෙයි.

එසේම මෙම කමිටුව අවස්ථා තුනකදී එනම් 2018 මාර්තු 03, මාර්තු 14 සහ මාර්තු 16 යන දින වල අරලියගහ මන්දිරයේ කාමර අංක 108 රැස්වී මෙම යෝජනා නිර්දේහ ඇතුළත් වාර්තාව සකසා ඇත.

මේ එම වාර්තාවය. 

නායකතුමා ඒ වැඩෙත් හරියට කළේ නෑ !

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වන එජාප ප්‍රතිසංවිධානය වෙනුවෙන් වන කැරළිකාරී පාර්ශවයේ ප්‍රබලයෙකු  සඳහන් කර සිටින්නේ අදාළ රුවන් විජේවර්ධන පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව අනුව මෙවර පක්ෂයේ ප්‍රතිසංවිධානය සිදුකළා නම් පක්ෂය වෙත විප්ලවීය ගමනක් තිබු බවය.

පක්ෂ නායකත්වය අවසන් මොහොතේ එම වාර්තාව අසම්පුර්ණ ලෙස ක්‍රියාවට නැගීම හේතුවෙන් එජාප ප්‍රතිසංවිධානය සම්බන්ධව විවිධ පාර්ශව උපහාසයෙන් කතා කරන බවත් ඒ නිසාම පක්ෂ නායකත්වය සම්බන්ධව පාක්ෂික කළකිරීමද වැඩිවී ඇති බව ඔහු පවසයි.

නායකයාව රැක්ක අයත් අද වෙනකොට කළකිරිලා 

අවම වශයෙන් උපනායක ධුර කිහිපයක් ඇතිකොට පක්ෂය වටා දක්ෂ නායකත්ව පවුරක් බිහිකිරීමේ අවස්ථාව පවා පක්ෂ නායකත්වය අහිමි කර ඇති බවත් එහෙයින් පක්ෂ අභ්‍යන්තරයේ විසඳාගන්න තිබූ ප්‍රශ්නය මේ වන විට ජාතික තලයේ කතා බහක් බවට පත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි. 

එහෙයින් කඩිනමින් මෙම ප්‍රශ්නය විසඳා ගැනීමට පක්ෂය කටයුතු කළ යුතු බවත් පක්ෂ නායකත්වය අර්බුදයට පත්වූ සෑම අවස්ථාවකම නායකත්වය වෙනුවෙන් පෙනීසිටි පාර්ශව පවා මේ වන විට නායකයාගේ මේ හැසිරීම සම්බන්ධව දැඩි කනස්සල්ලෙන් සිටින බවද එම මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

රුවන්ගේ ප්‍රතිසංවිධාන වාර්තාව