Language Switcher

V2025

ජනපතිගේ ව්‍යවස්ථාපිත කාර්‍ය භාරය අවහිර කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් - PMD නිවේදනයක් !

"ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බව අවධාරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත්කර ඇත .

"ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීම" යන ශීර්ෂය යටතේ අද (31) පස්වරුවේ නිකුත්කළ එම නිවේදනය පහත දැක්වෙයි .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට අදාළ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා, විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ක්‍රියා පටිපාටියට අනුව සහ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්යභාරයට අනුකූලව පොලිස්පතිවරයා ඇතුළු රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටී.

එබැවින් ජනාධිපතිවරයාට කිසිඳු බාධාවකින් හෝ මැදිහත්වීමකින් තොරව ව්‍යවස්ථානුකූල රාජකාරි ඉටු කිරීමට සිදු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුවය.

ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

ජනාධිපතිවරයා යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා තිබෙන ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති පාර්ලිමේන්තුවේ කථානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයාට තම ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ලබා දෙනු ලබයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම කාර්යයන් ඉටු කිරීමට බැඳී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.

කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. එබැවින් පාර්ලිමේන්තුව වගකිව යුත්තේ ජනතාවට පමණි.

ජනාධිපතිවරයා විසින් මෙම කරුණු තවදුරටත් පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යොමු කරනු ඇත.