පැතුම් නිශ්ශංක එක් දින වාර්තා අලුත් කරයි

පැතුම් නිශ්ශංක එක් දින වාර්තා අලුත් කරයි

ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක් දින ඉනිමකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වසර 24කට පෙර සනත් ජයසූරිය පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමට පැතුම් නිස්සංක අද (09) සමත් විය.

ඒ, ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන පළමු එක් දින ක්‍රිකට් තරගයේදීයි.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඇෆ්ගනිස්ථාන නායක හෂ්මතුල්ලා ශහිදී පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ, අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංකයි.

කලකට පසුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක සාර්ථක ලකුණු සබඳතාවක් දැක ගැනීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට අද හිමි විය.

අවිශ්ක අද වාර්තා කළේ, 6 වැනි එක් දින අර්ධ ශතකයයි.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 182ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගුවේ ය.

ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක් දින තරගයකදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවය සඳහා වන වාර්තාව ද පිහිටුවමිනි.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 16යි.

නොදැවී ලකුණු 210ක් රැස් කළ පැතුම් නිස්සංක අද වාර්තා අතරට එක් වූයේ එක් දින ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසිනි.

ඒ අනුව සනත් ජයසූරිය ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් රැස් කරමින් එක්දින ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා පිතිකරු ලෙස 2000 වසරේදී පිහිටුවා තිබූ වාර්තාව අද බිඳ වැටුණි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 381ක් රැස් කළේ ය.

ලකුණු 382ක ඉලක්කයක් හඹා යන ඇෆ්ගනිස්ථානය පන්දුවාර 2ක් අවසානයේදී කඩුල්ලක් දැවී ලකුණු 6ක් රැස් කරගෙන සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න