උපාධිධාරීන් 2320කට ජනාධිපති ප්‍රධානත්වයෙන් ගුරු පත්වීම් !

උපාධිධාරීන් 2320කට ජනාධිපති ප්‍රධානත්වයෙන් ගුරු පත්වීම් !

වසර තුනකට පසු මෙම වසරේ දී 4000ක පමණ පිරිසක් ගුරු වෘත්තියට බඳවා ගැනීමට රජය කටයුතු කර ඇති බවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වීමත් සමඟ ඉදිරි වසර වන විට ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ දී අද (03) පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.

උපාධිධාරී ගුරුවරුන් 2320කට පත්වීම් ලබා දීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානයට එක් විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ චරිතවත් ගුණගරුක අනාගත පරපුරක් බිහි කිරීමේ වගකීම ගුරුවරයාට පැවරෙන බවයි.

ගෞරවණීය වෘත්තියක් වූ ගුරු වෘත්තියේ ගෞරවය කෙළසා ගැනීමට කිසිවිටෙකත් කටයුතු නොකළ යුතු බව පැවසු ජනාධිපතිවරයා ගුරුවරුන් නිරතුරුව විෂය දැනුමෙන් යාවත්කාලීන වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය .

ගුරුවරුන් ලෙස ඔබ බාරගන්නේ පංතිකාමරයක් නොවෙයි. ඔබ භාරගන්නේ එම පන්ති කාමරයේ සිටින සිසු සිසුවියන්ගේ අනාගතයයි. අවුරුදු 05 සිට අවුරුදු 19 වන තෙක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් කාලය ගත කරන්නේ ඔබ සමගයි. ඒ නිසා ඔවුන්ට ගෙදරින් ලැබෙන මගපෙන්වීම වගේම පාසලින් ලැබෙන මගපෙන්වීමත් ඉතා වැදගත් වෙනවා. ඒ වගකීම ඉෂ්ට කළයුත්තේ ඔබයි. ඔබට තිබෙන්නේ සිසුන්ට විෂය දැනුම ලබාදීම පමණක් නොවෙයි. මේ සිසු සිසුවියන්ගේ ජීවිතය හැඩ ගැස්වීමද සිදු කළයුත්තේ ඔබයි.

අද අන්තර්ජාලයෙන් ද විෂය දැනුම ලබාගත හැකියි. නමුත් දරුවන්ගේ චරිත ගොඩනැගීම ඒ හරහා සිදු කළ නොහැකියි. අප සියලුදෙනාගේ ජීවිත ගොඩනගා ගැනීමේදී දෙමාපියන්ගෙන් ලැබුණු මගපෙන්වීම වගේම ගුරුවරුන්ගේ ලැබුණු මගපෙන්වීමත් ඉතා වැදගත් වුණා. ගුරු වෘත්තිය ඉහළ වෘත්තියක් ලෙස සළකනු ලබන්නේ ඒ නිසයි. එම ගෞරවය ආරක්ෂා කර ගන්නා ලෙස මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලනවා.

ඒ වගේම ගුරුවරුන් ලෙස ඔබේ දැනුම ඉතා වැදගත් වෙනවා. අද තිබෙන්නේ දිනෙන් දින දැනුම නවීකරණය වන සමාජක්. එසේ නම් ගුරුවරුන්ට තම විෂය දැනුම වැඩි කර නොගෙන කටයුතු කිරීමට අතීතයේ දී හැකි වුවත් අද එලෙස කිරීමට හැකියාවක් නැහැ. තව වසර 10කින්, 20කින් පමණ ඔබේ දැනුම ප්‍රමාණවත් ද කියා සිතා බලන්න. ඒ නිසා තමන්ගේ විෂය දැනුම ඉහළ නංවා ගැනීමට ගුරුවරුන් සෑම අවස්ථාවකම කටයුතු කළයුතුයි.

අද ගුරුවරුන් 2300ක් බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා. තව 700කට පත්වීම් ලබාදීමට තිබෙනවා. පුරප්පාඩු අනුව තවත් ගුරුවරුන් 1000ක් පමණ බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව මෙම වසරේ ගුරු වෘත්තීයට 4000ක් පමණ බඳවාගෙන තිබෙනවා. වසර තුන හතරකින් පසුව තමයි මෙම බඳවා ගැනීම් සිදු කිරීමට හැකියාව ලැබුණේ. කොවිඩ් වසංගතය වගේම ආර්ථික කඩා වැටීම හමුවේ මේ සියලු බඳවා ගැනීම් නැවතී තිබුණා.

රටේ ආර්ථික වර්ධන වේගය සෘන අගයකට පත්ව තිබුණා. නමුත් රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් අද රුපියලේ වටිනාකම ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආර්ථිකය ශක්තිමත් වී තිබෙනවා. ඒ නිසා අද මෙම බඳවා ගැනීම් සිදු කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා.

පසුගිය වසරේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 370ක් බවට පත්ව තිබුණා. අද වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එවිට ජනතාවගේ අතට ලැබෙන මුදල ශක්තිමත් වෙනවා.

අද ආණ්ඩුවේ වැඩකටයුතු සඳහා මුදල් සොයාගත යුතුව තිබෙනවා. අද අපි ගමන් කරන්නේ දුෂ්කර මාර්ගයක වුවද ඉදිරියේ දී ආර්ථික දියුණුවක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. අපට මේ කාලයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට මෙන්ම දීමනා වැඩි කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමට මෙන්ම සිංහල අවුරුදු සමයේ වී වලට හොඳ මිලක් ලබාදීමට හැකියාව ලැබුණා. ඒ වගේම ආර්ථිකයේ ඇති වන දියුණුව සමඟ ලබන වසර වන විට ගුරුවරුන් බඳවා ගැනීම සඳහා මීට වඩා වැඩි මුදලක් අමාත්‍යාංශයට ලබාදීමට අප කටයුතු කරනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න