Language Switcher

V2025

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට කැබිනට් අනුමැතියක්

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, 1988 අංක 27 දරන ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය (සංශෝධන) පනත මගින් විශ්වවිද්‍යාලයක් බවට පත් කර ඇත.

සන්නද්ධ සේවාවන්හි සේවා අවශ්‍යතාව අනුව, වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ශිෂ්‍යභට නිලධාරීන් පුහුණු කර වෛද්‍යවේදය සහ ශල්‍ය වෛද්‍යවේදය (MBBS) උපාධි පිරිනැමීම සඳහා 2011 වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කෙරිණි.

ඒ අනුව, දැනට දේශීය සිසුන් සඳහා ත්‍රිවිධ හමුදාවට හෝ පොලිසියට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳීමෙන් පමණක් සහ විදේශීය සුදුසුකම් ලත් සිසුන් සඳහා මුදල් ගෙවීමේ පදනම මත පමණක් එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබා ගත හැකි බව රජය පවසයි.

එම අවස්ථාව තවදුරට ත් පුළුල් කරමින් 2024 අධ්‍යන වර්ෂයේ සිට සුදුසුකම් සපුරා ඇති දේශීය අයැදුම්කරුවන් ද මුදල් ගෙවීමේ පදනම මත වෛද්‍ය උපාධි පාඨමාලාව සඳහා බඳවාගැනීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ අනෙකුත් ජාතික විශ්වවිද්‍යාලවල සිසුන් බඳවා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුගමනය කරනු ලබන z අගයට අමතරව තවත් අතිරේක සුදුසුකම් කිහිපයක් ද සහිතව සකස් කරනු ලැබ ඇති නිර්ණායක අනුගමනය කරමින්, ගෙවීමේ පදනම මත වෛද්‍යවේදය හා ශල්‍ය වෛද්‍යවේදය උපාධි හැදෑරීම සඳහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත උපාධි අපේක්ෂකයන් ඇතුළත් කර ගැනීම සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

download 1