ආණ්ඩුව පසුගිය දවස් 13ට රුපියල් කෝටි 41,900ක ණය අරන් - රෝහිණි කවිරත්න

ආණ්ඩුව පසුගිය දවස් 13ට රුපියල් කෝටි 41,900ක ණය අරන් - රෝහිණි කවිරත්න

2024 ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්‍රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය.

''රජය දිගින් දිගටම අසීමාන්තිකව ණය ලබා ගනිමින් සිටිනවා. හැබැයි දැනෙන සහනයක් රටට ලැබෙන්නේ නම් නෑ. තවමත් විශ්‍රාමිකයින්ට ලැබිය යුතු රු. 3000 බැගින් වන මාස දෙකක හිඟ මුදල් ගෙවා ගන්න බැරිව ඉන්නවා. රාජ්‍ය සේවකයින්ගේ වැඩි කළ වැටුප ගෙවන්න බැරි බව මේ වෙන කොටත් පැහැදිලිවම පේන්න තියෙනවා යැයි කවිරත්න හිටපු මන්ත්‍රීවරිය පැවසූවේ දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමිනි.

  • ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200
  • ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500
  • ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500
  • ඔක්තෝම්බර් 15 :- රුපියල් බිලියන් 97 නොහොත් රුපියල් කෝටි 9,700 ක් ලෙස රජය අලුත් ණය ලබා ගෙන තියෙනවා.

'' පසුගිය දවස් කිහිපය තුල රජය දවසකට රු. කෝටි 3,223 ක් බැගින්, ඒ කියන්නේ පැයකට රු. කෝටි 134.29 බැගින් ණය ලබාගෙන තියෙනවා. මේ ණය අරගෙන කරන්නේ මොනවාද? මේ ණය වලින් කරන ආයෝජනය මොකක්ද? රජය පැහැදිලි කළ යුතුයි.'' යයි ද ඇය පැවසුවාය.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්විමෙන් පසු දේශීය, විදේශීය ණය ගැනීම් වැඩි වී ඇතැයි ඇතමෙකු මෙසේ නගන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රකාශ කර සිටියේ, ඔය කියන ආකාරයට විශේෂ හෝ අමුතු අසාමාන්‍ය ණය ගැනීමක් සිදුකළ නොමැති බවයි.

ඒ ඒ අමාත්‍යාංශවල වියදම් පියවා ගැනීම සහ කල් පිරුණු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර ආපසු ගෙවීම සඳහා දේශීය මූල්‍ය වෙළඳපොළෙන් අරමුදල් රැස් කරගන්නවා විනා අමුතු දෙයක් මේ දිනවල සිදු නොකරන බව මහචාර්යවරයා තව දුරටත් ප්‍රකාශ කළේය.

'වෙනත් විකල්පයක් නැ' - මුදල් අමාත්‍යංශයේ ලේකම්

අලුතෙන් පත්වූ ජනපති අනුර කුමාර දිසානායක ගේ පාලන කාලය තුල දේශීය හා විදේශීය වෙළෙඳ පොළෙන් විශාල වශයෙන් ණය මුදල් ලබාගෙන ඇතැයි ඇතැමෙකු කරන චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් මුදල් අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන පැවසුයේ, වාර්ෂිකව ඉහළ අයවැය හිගයක් පවතින විට එය පියවා ගැනීමට අලුතෙන් මුදල් මුද්‍රණය කිරීමට නොහැකි නිසා අනිවාර්යයෙන්ම රජයට දේශීය වෙළෙඳ පොළෙන් ණය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න