රාජ්‍ය ආයතන සුද්ද කිරිමේ ‘සෙයිරි සතිය’ අද (01) ඇරඹේ

රාජ්‍ය ආයතන සුද්ද කිරිමේ ‘සෙයිරි සතිය’ අද (01) ඇරඹේ

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’ නමින් විශේෂ වැඩසටහනක් අද (01) සිට සැප්තැම්බර් 04 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි ඉටු කිරීම සඳහා නිදහස්, පිරිසිදු සහ සෞඛ්‍යාරක්ෂිත වැඩ පරිසරයක් නිර්මාණය කිරීමයි.

ඵලදායීතාව පිළිබඳ පංචවිධ සංකල්පයට අයත් ‘සෙයිරි’ යන්නෙන්, ආයතනයකට අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගෙන අනවශ්‍ය දෑ බැහැර කිරීම අදහස් කෙරේ. ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ සීමිත ඉඩකඩ ප්‍රශස්ත ලෙස භාවිත කරමින්, ගොඩගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම මෙහිදී ප්‍රමුඛ කාර්යයක් වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථා ප්‍රධානීන්ට නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව, මෙම සතිය තුළ සෑම දිනකම උදෑසන කාලයෙන් පැය දෙකක් ආයතන පිරිසිදු කිරීම සහ සංවිධානය කිරීම සඳහා යෙදවිය යුතුය. ගොඩනැගිලි ඇතුළත මෙන්ම බාහිර පරිසරය, ආයතනයට පිවිසෙන මාර්ග සහ මාර්ග දෙපස අලංකාරව පවත්වා ගැනීමටත්, විශේෂයෙන් ආබාධිත ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් මෙහිදී අවධානය යොමු කෙරේ.

තවද, භාවිතයට ගත නොහැකි ඉන්වෙන්ට්‍රි භාණ්ඩ, පැරණි මෝටර් රථ සහ ලිපිගොනු නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කරන ලෙසට ද උපදෙස් දී ඇත.

මෙම ‘සෙයිරි සතිය’ එක්වරක් පමණක් ක්‍රියාත්මක කර නතර නොකර, එමගින් ඇති කරන සංවිධිත පරිසරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ස්ථිර ක්‍රමවේදයක් සකස් කර, ඒ සඳහා නිලධාරියෙකුට වගකීම් පවරන ලෙසද සියලුම ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.

The leader.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න