ටෙන්ඩර් නීති උල්ලංඝනය කරමින් ලං.වි.ම. ටෙන්ඩරය තනි ලංසුකරුවෙකුට !

ටෙන්ඩර් නීති උල්ලංඝනය කරමින් ලං.වි.ම. ටෙන්ඩරය තනි ලංසුකරුවෙකුට !

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියක් වන ‘ජාතික සම්පේ‍්‍රෂණ සහ බෙදාහැරීම් ජාල සංවර්ධන ව්‍යාපෘතිය (400 kV, 22kV & 132 kV සම්පේ‍්‍රෂණ අංශ ඉදිකිරීම)’ ටෙන්ඩරය ටෙන්ඩර් නීති උල්ලංඝනය කරමින් තනි ලංසුකරුවෙකුට ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
 
මෙම ව්‍යාපෘතිය සඳහා ජයිකා (JICA) ණය එකඟතා අංක SL-P113 යටතේ මුදල් සැපයෙන අතර, මෙය බහුවෝල්ටීයතා(400kV/220kV/132kV) යොදා ගැනෙන සම්පේ‍්‍රෂණ අංශ ව්‍යාපෘතියකි. 

පූර්ව සුදුසුකම් පරීක්ෂා කිරීමේ අදියරේදී මේ ව්‍යාපෘතිය සඳහා පූර්ව සුදුසුකම් ලබා සිටියේ ලංසුකරුවන් දෙදෙනෙකු පමණි. ඒ, ජපානයේ මිට්සුබිෂි සංස්ථාවේ ප‍්‍රධානත්වය සහිත හවුල් ව්‍යාපාරය සහ ඉන්දියාවේ කල්පතාරු පවර් ට‍්‍රාන්ස්මිෂන් ලිමිටඩ් සමාගමයි. 

සාමාන්‍යයෙන් ලංසුකරුවන්ගේ පූර්ව සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් පසුව රටට ලාබදායීම මිල ලබාගැනීම සඳහා පූර්ව සුදුසුකම්ලාභී සියලූ පාර්ශව වලින් මිල ගණන් කැඳවනු ලැබේ.

පූර්ව සුදුසුකම් අදියරේදී ලංසුකරුගේ ශක්‍යතාවන් අගයා අවසන්ය. එබැවින් ලංසුකරුගේ සුදුසුකම් නැවත ඇගයීමේ අවශ්‍යතාවක් නැත. ඒ වෙනුවට සිදු කෙරෙනුයේ අඩුම ලංසු මිල ලබාගැනීම සඳහා පූර්ව සුදුසුකම්ලාභී ලංසුකරුවන් අතර පවතින තරගකාරීත්වය පුළුල් කිරීමය. ව්‍යාපෘතියේ මේ කොටස සඳහා ඇස්තමේන්තුගත කර ඇති මිල රුපියල් බිලියන 10 කට වැඩි ප‍්‍රමාණයක් වෙයි.

මෙම ව්‍යාපෘතියේ උපදේශකයින් ලෙස අපි‍්‍රකානු ව්‍යාපෘතියකදී සිදු කළ දූෂණ හේතුවෙන් ප‍්‍රතික්ෂේපිත ජර්මනියේ ෆිච්ට්නර් ජී.එම්.බී.එච් ඇන්ඩ් කම්පනි කේ.ජී. (Fichtner GmbH & Co. KG, Germany) ජයිකා විසින් පත්කර තිබීම පුදුමයට කරුණකි. (ෆිච්ට්නර් පිළිබඳ අල්ලස් දූෂණ අර්බුදය පිළිබඳ කරුණු ඇතුළත් යොමුව -http://www.fcpablog.com/blog/2017/7/7/world-bank-debars-germanys-fichtner-gmbh-for-africa-miscondu.html) මේ වනවිට මේ උපදේශන සමාගම විසින් මිට්සුබිෂි සංස්ථාව සුදුසුකම් නොලබන බව තීරණය කර එක් තනි ලංසුකරුවකු නිර්දේශ කරනු ලැබ ඇත.

මෙමඟින් තරගකාරීත්වය අඩුවීම සහ තනි ලංසුකරු විසින් ඉදිරිපත් කරනු ලබන කුමන හෝ මිල ගණනක් භාරගැනීමට සිදුවන තත්ත්වයක් උදාවෙයි. ටෙන්ඩරය ශී‍්‍ර ලංකා රුපියල් බිලියන 10-12 ක් පමණ වන බැවින් තරගකාරීත්වය නොමැතිවීම නිසා සිදුවන පාඩුව බිලියන ගණනකි. අවසාන වශයෙන් මේ අමතර වියදම දැරීමට සිදුවනු ඇත්තේ මෙරට විදුලි පාරිභෝගිකයින්ටය.

පූර්ව සුදුසුකම්ලාභී ලංසුකරුවකු ප‍්‍රතික්ෂේප කිරීමට හේතු වී ඇත්තේ පුද්ගලයකුගේ සුදුසුකම් පිළිබඳ ගැටලූවක් නිසා බව වාර්තා වෙයි. මෙහිදී මතු වන ප‍්‍රශ්නය වන්නේ ජපානයේ මිට්සුබිෂි සංස්ථාව වැනි ලංසුකරුවන්ට සම්පේ‍්‍රෂණ ඉදිකිරීම් සඳහා ලොව පුරා මෙන්ම ශී‍්‍ර ලංකාවේද ප‍්‍රමාණවත් පළපුරුද්ද තිබියදී, පූර්ව සුදුසකම්ලාභී ලංසුකරුවන් දෙදෙනෙකු පමණක් අතරින් එක් තනි ලංසුකරුවකු පමණක් තෝරාගෙන ඇත්තේ ඇයිද යන්නය.

පසුගිය වසර කිහිපයක සිට විදුලි හා බලශක්ති අමාත්‍යංශය විසින් ගල්අඟුරු මිලදීගැනීම, ජෙනරේටර් මිලදී ගැනීම සහ අධිවෝල්ටීයතා සම්පේ‍්‍රෂණ අංශ ආශි‍්‍රත ව්‍යාපෘති යනාදියේ දී අඩුම ලංසු ප‍්‍රතික්ෂේප කිරීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව පෙනී යයි. සියලූ මිලදීගැනීම් තරගකාරී පදනමකින් යුක්තව අඩුම මිලට සිදු කළ යුතු බව ශී‍්‍ර ලංකාවේ විදුලි බල පනතේ පැහැදිලිව සඳහන්ව තිබියදීත් අමාත්‍යංශය දරන්නේ වෙනත් ස්ථාවරයකි.

දිගු කාලීන විදුලි ජනන සැලසුම සම්බන්ධයෙන් ලං.වි.ම. සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL)අතර පවතින කඹ ඇදිල්ල හේතුවෙන් ඉදිරි කාලයේදී පාරිභෝගිකයින් දැඩි අසීරුතාවට පත්වනු ඇත. PUCSL විසින් ගල් අඟුරු බලාගාරවල අඩුම විදුලි ජනන ප‍්‍රභවය ප‍්‍රතික්ෂේප කර, ගල් අඟුරු මඟින් ජනනය කෙරෙන ඒකකයකට වඩා අවම වශයෙන් රු. 6/-ක් වැඩි ඒකක මිලක් සහිත LNG විදුලි බලාගාර යොදාගැනීමට උපදෙස් දී තිබෙන බවද සඳහන් වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න