ගජමිතුරු කම, පවුල්වාදය ඉවත් කළොත් වසර 10න් ශක්තිමත් ආර්ථිකයක් !

ගජමිතුරු කම, පවුල්වාදය ඉවත් කළොත් වසර 10න් ශක්තිමත් ආර්ථිකයක් !

ගජමිතුරු කම, පවුල්වාදයෙන් ඉවත් කොට කුසලතාවයට මුල්තැන දෙන ආර්ථිකයක් තුළින් වසර 10 කින් ශක්තිමත්, ප‍්‍රබල නව ශ‍්‍රී ලංකාවක් ගොඩනැගිය හැකි බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

ඒ  නාගරික සංවර්ධන අධිකාරිය මගින් රුපියල් මිලියන 135 ක වියදමින් ඉදිකිරීමට නියමිත හෙට්ටිපොල මහජන පොළ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘රටට බත බුලත සපයන කෘෂිකාර්මික ප‍්‍රදේශයක් වන මේ ප‍්‍රදේශය ඉහළට ඔසවා තබන්න විධිමත් නාගරීකරණයක් අවශ්‍ය මොහොතක් මෙය. එදා විදුබල හා බල ශක්ති අමාත්‍යවරයා හැටියට කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සෑම ගමකටම විදුලිය ලබාදුන්නා. ඒ සඳහා කුලියාපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා බිලියන ගණනක මුදලක් වියදම් කළා. කුරුණෑගල පමණක් නෙමෙයි මුළු ලංකාවේම අද 100% ක් විදුලිය තිබෙනවා. එයත් සමගම පාරවල් පද්ධතිය හොඳට ගොඩනැගීමත් සමග ඊළඟට අවශ්‍ය වන්නේ අපේ ජනතාවට විධිමත් නාගරීකරණයක්. ඒ විධිමත් නාගරීකරණයේ ඉතාම වැදගත් පියවරක් තමයි විධිමත් බස් නැවතුම, විධිමත් ප‍්‍රවාහන පහසුකම වගේම වාණිජ මධ්‍යස්ථානය. ඉතින් අපි සතුටු වෙනවා මේ හෙට්ටිපොළට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කෝටි දහතුනහමාරක් වැනි මුදලක් වියදම් කර මේ දේ ලබාදීමට හැකියාව ලැබීම ගැන.

පක්ෂ පාට භේදයෙන් තොරව අප සියළු දෙනාම මේ රටේ ඉදිරි ගමන ගැන කල්පනා කරනවා නම්, මේ රටට ඔය කියන තරම් මහා පරිමාණ අපල, ප‍්‍රශ්න නොයෙක් කාරණා නැහැ. මේ රට විද්‍යානුකූලව වසර 10 ක් ගියා නම් මේ රට ඉබේම ශක්තිමත් බලගතු රටක් වෙනවා. මා වසර 12 ක් ඇමතිධූර දරා තිබෙනවා ඒ සෑම ආයතනයක්ම පාඩු කරලා බිඳ දමලා නැහැ. ඒ සෑම ආයතනයක්ම ලාභ ලබන ආයතන බවට පත් කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මේ රටේ  ඕනෑම ආයතනයක් කුසලතාවයට මුල්තැන දෙනවා නම් හදන්න පුළුවන්. එකම දේ අපේ රටේ අර පවුලෙන්ම එන්න  ඕනේ, අර කණ්ඩායමෙන්ම එන්න  ඕනේ, අර මිතුරු පන්තියෙන්ම මේ රට හදන්න  ඕනේයි කියන ආකල්පය නිසා තමයි අපට ගොඩයෑමක් නැත්තේ. අපි ඉඩකඩ දෙනවා නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට, ගම්බද දූ පුතුන්ට, මේ රට විශ්වයටම ගෙනියන්න අනාගතයක් තිබෙන පිරිස් අපට ඉන්නවා. ඇමරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාලවලට පවා අපේ මේ ගමෙන් ගිය දරුවෝ පීඨාධිපති තනතුරට පවා ගිහින් තිබෙනවා. ඉතින් මේ රටේ එම ස්ථානය නැතිවීම ගැන අපි කණගාටු විය යුතුයි.

ඒ නිසා මේ රට හදන්න බැරිය, මේ රටේ ධනපති පංතිය නැති කරනකන් මෙය සිදුවන්නේ නැතිය කිය කියා, එහෙම නැත්නම් මේ කල්ලි කණ්ඩායම් ඉන්නකම් මෙය වෙන්නේ නැහැ, ණය බර ගැන කතා කර කර හිටියට මේවා සිදු වන්නේ නැහැ. රාජ්‍ය ආයතන ණය බරෙන් මිදෙන හැටි මා පෙන්වා දුන්නා. ලංකා විදුලි බල මණ්ඩලයේ, නාගරික සංවර්ධන අධිකාරිය, තෙල් සංස්ථාව වැනි ආයතනවල ඉඳන් ප‍්‍රමිති කාර්යංශය දක්වා පුංචි ආයතනවල පවා, දැව සංස්ථාවේ පවා ණය බර අයින් කරන හැටි අපි පෙන්වා දුන්නා ප‍්‍රායෝගිකව. ගම්බද මෙන්ම නගරයේ කුසලතාවයට ඉඩ දෙනවා නම්, මේ පවුල් වාදය මේකෙන් අයින් වෙන්න ඉඩ දෙනවා නම්, ගජ මිතුරුකම මෙයින් ඉවත් වනවා නම් ප‍්‍රජාතාන්ත‍්‍රික ක‍්‍රමවේදයක් රටතුළ ඇති වෙනවා නම් මේ රට මිත‍්‍රවරුනි වසර 10කින් ශක්තිමත් ප‍්‍රබළ බලගතු රටක් වන බව මා දිව්රා ප‍්‍රකාශ කරනවා.

යහපාලනයෙන් සාමකාමී, නිදහස්, බයෙන් සැකෙන් තොර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්, විනිවිද පෙනෙන සංවර්ධනයක් අපි ඇති කළා සේම මේ දේශපාලනයෙත් ගොඩගැසී තිබෙන වෛරසය අයින් කර දාලා රටට කුසලතා සම්පන්න ලේ තිබෙන, කුසලතා සම්පන්න ජාන තිබෙන මිනිසුන්ගේ නව යුගයක් ඇති කරන්න අපි ඉදිරියේ කැපවිය යුතු යැයි ද, පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න