හෙද නිල ඇඳුමට ජාතීන් අනුව බෙදීම් එපා - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

හෙද නිල ඇඳුමට ජාතීන් අනුව බෙදීම් එපා - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

රජයේ රෝහල්වල සේවය කරන, මුස්ලිම් ජාතික හෙද නිලධාරිනියන්ට සිය නිල ඇඳුම වෙනුවට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට රජය ලබාදී ඇති අවසරයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විරෝධය පළ කර තිබේ.


රජයේ රෝහල්වල හෙද නිලධාරීන්ගේ නිල ඇඳුම ප්‍රමිතියක් මත ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙමින් නිර්මාණය කරන ලද්දක් බවත්, කාගේ හෝ ඉල්ලීමකට සවන් දීමෙන් මෙම නිල ඇඳුම වෙනස් කිරීමට කටයුතු කරන්නේ නම්, සංගමයක් වශයෙන් ඊට විරෝධය පාමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවනු ඇති බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් මුස්ලිම් සිවිල් සංවිධාන නායකයන් සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්ද විදේශ කටයුතු හා විදේශ රැකියා ඇමැති විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 23වැනිදා පැවැත්විණි.

එහිදී ඇමැති විජිත හේරත් ප්‍රකාශ කර ඇත්තේ, මුස්ලිම් ජාතික හෙදියන්ට තමන්ට හුරු සංස්කෘතික ඇඳුම ඇඳ සේවය කිරීමට නීතියෙන් කිසිදු බාධාවක් නැති බවයි. කවුරුන් හෝ එය ඇඳීමට විරෝධය පළ කරන අවස්ථාවකදී ඒ පිළිබඳව තමන්ට තොරතුරු දැනුම් දෙන ලෙස ද ඇමැතිවරයා එහිදී පවසා ඇත.

එහෙත් ඒ ඒ ආගම්වල පවතින සංස්කෘතික ලක්ෂණයන් අනුගමනය කරමින් පිළිගත් සම්ප්‍රදායන් අනුව සකස් කර ඇති නිල ඇඳුම වෙනස් කිරීමට එකඟ නොවෙන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සිය ලිපියෙන් අවධාරණය කර ඇත.

මේ තත්ත්වය මත, කවරකු හෝ හෙද සාත්තුවද වෙනස් කළ යුතු යැයි යෝජනාවක් ගෙන ආවොත් එයද කළ යුතුව ඇතැයි උන්වහන්සේ සඳහන් කර ඇත.

පිළිගත් සම්ප්‍රදායකට අනුව පවතින නිල ඇඳුම වෙනස් කරනවාට වඩා කාර්යක්ෂම හෙද සේවාවක් පවත්වාගෙන යාම සඳහා විසඳුම් ලබා දිය යුතු ප්‍රශ්න ගණනාවක් හෙද ක්ෂේත්‍රය තුළ පවතින බවද ආනන්ද හිමි සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.


Screenshot 2025 10 27 130301

මුස්ලිම් හෙදියන්ට තම ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීමට බාධාවක් නැහැ -  ඇමති විජිත හේරත්



vijitha
මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් සහ රජයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් 23 වන දා අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මුස්ලිම් ප්‍රජාව මුහුණ පාන ගැටලු තවදුරටත් අධ්‍යයනය කර විසඳා ගැනීමේ අරමුණින් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ පියවරක් ලෙස පැවැති එම සාකච්ඡාවට රජය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානයක රිස්වි සාලි, අමාත්‍ය සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉලියාස් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ෆස්මින් ෂෙරීෆ් ද සහභාගී වී සිටියහ.

රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම හිස, කකුල් වැසෙන පරිදි මුස්ලිම් ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීම පිළිබඳව දීර්ඝ කාලීනව ගැටලුවට මුහුණ පා ඇතැයි සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම සාකච්ඡාවේ දී පෙන්වා දුන්හ. මේ හේතුවෙන් මුස්ලිම් කාන්තාවන් සෞඛ්‍ය සේවයට පිවිසීම අවම වී ඇති බවත් සැලකිය යුතු පිරිසක් හෙද වෘත්තිය අතහැර දැමීමට හෝ හෙද අධ්‍යාපනය අවසන් කළ ද හෙද වෘත්තියට පිවිසීමට මැලිකමක් දැක්වීමට පෙළඹී ඇතැයි ද ඔවුහු පෙන්වා දුන්හ.



සිවිල් සංවිධාන නියෝජිතයින් පෙන්වා දුන් ගැටලුව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ හෙදියන්ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් දැනට පවතින නීති රාමුව තුළ තම ආගමික අනන්‍යතාව ආරක්ෂා කරගනිමින් නිල ඇඳුම් ඇඳීමට බාධාවක් නැති බවයි. එබැවින් හෙද වෘත්තියට පිවිසීමට තම ආගම හෝ සංස්කෘතිය බාධාවක් කර නොගන්නා ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් නියෝජනය කරමින් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය ඇතුළු සංවිධාන 15ක නියෝජිතයින් 30ක් පමණ එක්ව සිටියහ.


 

vijith2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න