මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ ප්රධානතම අභියෝගය බෝනොවන රෝගයි
පිළිකා රෝග හේතුවෙන් මෙරට සිදුවන කාන්තා මරණ අතරින් 27% කටම හේතුව පියයුරු පිළිකාවයි.
ඔක්තෝම්බර් මාසයට යෙදෙන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් කළුතර නගරයේදී (18) වැනිදා පැවති ජනතාව දැනුවත් කිරීමේ පා ගමනට සහ ප්රධාන උත්සවයට එක්වෙමින් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මේ බව අවධාරණය කළේය.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ පිළිකා රෝග මර්දන ඒකකයේ "ප්රාර්ථනා සහන සංගමය" සහ ශ්රී ලංකා පිළිකා විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමය (SLCO) එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
"පරමාර්ථයක් උදෙසා පා ගමනක්. ජීවිත බේරා ගැනීමට පා ගමනක්! - Walk for a Cause. Walk to Save Lives!" යන්න තේමා පාඨය කරගනිමින් කළුතර බෝධිය රථගාල අසලින් ආරම්භ වූ මෙම පා ගමන කළුතර දිස්ත්රික් ලේකම් කාර්යාලය වෙත ගමන් කළ අතර, අනතුරුව එහි ශ්රවණාගාරයේදී නාට්යානුසාරයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්යවරයා පෙන්වා දුන්නේ, මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ ප්රමුඛ අභියෝගය වී ඇත්තේ බෝනොවන රෝග බවයි. බෝනොවන රෝගවලින් ජනතාව බේරා ගැනීම, කලින් හඳුනා ගැනීම සහ කඩිනමින් ප්රතිකාර ආරම්භ කිරීම ප්රමුඛ වන බව ද පැවසීය.
කාන්තාවන් අතර මරණයට හේතුවන ප්රධාන හේතුවක් ලෙස පිළිකාව පෙන්වා දිය හැකි බවත් එම මරණයට හේතු වන පිළිකා අතර 27%ක්ම පියයුරු පිළිකා වන බවත්, දිනකට මෙරටින් නව පියයුරු පිළිකා රෝගීන් 15ත් 18ත් අතර ප්රමාණයක් වාර්තා වන බව ද හෙතෙම සඳහන් කළේය.
මෙම අභියෝගය ජය ගැනීම සඳහා ඖෂධ, මුල්ය ප්රතිපාදන හා යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව, පවුල් සෞඛ්ය සේවිකාවන් සහ මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් හරහා පුද්ගලයා සහ කුඩා කණ්ඩායම් කේන්ද්ර කරගත් සෞඛ්ය සේවා ප්රවේශයකට යොමු විය යුතු බව අමාත්යවරයා කියා සිටියේය.
සැවොම එක්ව පියයුරු පිළිකා පිළිබඳව සමාජය දැනුවත් කරමින්, බියකින් හෝ ප්රමාදයකින් තොරව වෛද්ය සහය ලබා ගැනීමට අපේ කාන්තාවන් දිරිමත් කළ යුතු බවත්, බෝනොවන රෝගවලින් අපේ පුරවැසියන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවශ්ය සියලු මූල්ය ප්රතිපාදන, උපකරණ සහ ඖෂධ ආදී සියල්ල ලබා දීමට රජය සූදානම් බව ද පැවසීය.
තවද, කළුතර ශික්ෂණ රෝහලේ පිළිකා ප්රතිකාර ඒකකය රෝගීන්ට මානසික සුවපහසුව සහ මනුෂ්යත්වය පිරුණු වටපිටාවක් සකස් කරමින් අනෙකුත් රෝහල්වලටද කදිම ආදර්ශයක් සපයා ඇති බව අමාත්යවරයා එහිදී පැසසුමට ලක් කළේය.
(මාධ්ය අංශය, සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය)



newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
