Image

“මේ රටේ ඉදිරියට උද්ඝෝෂණ කරන්න පුළුවන් වෙන්නේ පැලවත්තෙ අනුමැතිය ලැබුණොත් විතරයි” - පාඨලී චම්පික රණවක

“මේ රටේ ඉදිරියට උද්ඝෝෂණ කරන්න පුළුවන් වෙන්නේ පැලවත්තෙ අනුමැතිය ලැබුණොත් විතරයි” - පාඨලී චම්පික රණවක

පසුගිය දින කිහිපය තුළ මේ රටේ මහා සංඝරත්නය, සිවුරේ අනන්‍යතාව වෙනුවෙන් ඉතාම අහිංසාවාදී ක්‍රියාදාමයක් දියත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත්, ඊට ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වූයේ පොලීසිය, තමන්ගේ විමර්ශන අංශ සහ පක්ෂ කාඩර්වල බලය භාවිතා කරමින් එම අවිහිංසාවාදී උද්ඝෝෂණ හා සත්‍යග්‍රහයන් විසුරුවා හැරීමට උත්සාහ දැරීම බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසයි.

එමෙන්ම, කොළඹ නගරාධිපතිනිය යොදාගෙන අවසානයේ පොදු පහසුකම් වන වැසිකිළි පවා වසා දමන තරමේ අමානුෂික මට්ටමකට රජය පත් වූ බව ද ඔහු සඳහන් කළේය.

ඔහු මේ අදහස් පළ කළේ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ඊයේ (20) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක,

දේශපාලන අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය

“දැන් මේ රටේ මින් ඉදිරියට උද්ඝෝෂණ කරන්න පුළුවන් වෙන්නේ පැලවත්තෙ අනුමැතිය ලැබුණොත් විතරයි. පැලවත්තට ඕන තරම් පෙළපාලි යන්න පුළුවන්, බදුල්ලෙත් පුළුවන්, කොළඹත් පුළුවන්, පාරවල් අවහිර කරන්නත් පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන්. අනෙක් අයට තමන්ගේ සංවිධානාත්මක අයිතිය, විරෝධය පෑමේ අයිතිය කරන්න පැලවත්තෙ අවසරය අවශ්‍ය වෙලා තිබෙනවා. මෙය ඉතාම භයානක ප්‍රවණතාවයක් බව අප ප්‍රකාශ කරනවා.

 

නීතිය හා සාමය ආරක්ෂා කරන අංශ ආණ්ඩුව අවභාවිතා කිරීම

පොලීසිය, විමර්ශන අංශ වගේම නීතිය හා සාමය ආරක්ෂා කරන සියලු අංශ ඉතාම නරක අවභාවිතාවක මේ ආණ්ඩුව යොදාගෙන තියෙනවා. අද අනුර කුමාර දිසානායකට තමන්ගේ පොලීසියේ, ඒ වගේම තමන්ගේ විමර්ශන අංශවල ඒ කුඩා බංකරයක් හදාගෙන, ඒ බංකරය ඇතුළෙ ඉඳන් තමයි ඔහුට දේශපාලනය කරන්න වෙලා තිබෙන්නේ.

 

අතීත උද්ඝෝෂණ සහ වත්මන් මර්දනය අතර වෙනස

මට මතකයි ජනතා විමුක්ති පෙරමුණ යහපාලන කාලයේ පමණක්  මේ රටේ උද්ඝෝෂණ 560කට වැඩි ප්‍රමාණයක් කළා. ඒ පිළිබඳ පොලිස් වාර්තා තිබෙනවා. රජයේ සෑම දේකටම විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාත්මක කළා. සෑම තැනම මාර්ග අවහිර කළා, පෙරහැරවල් ගියා, පෙළපාලි ගියා, පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා. ඒ කිසිම අවස්ථාවක එවකට රජය මේ ආකාරයට පොලිස් බලය පාවිච්චි භාවිතා කළේ නැහැ. වැසිකිළි කැසිකිළි, වතුර නවත්තලා ඒවා මර්දනය කරන්න කටයුතු කළේ නැහැ. මේකෙන් පේනවා අද අනුර කුමාර දිසානායක මහත්තයා පත් වෙලා තිබෙන තත්ත්වය.

 

‘සමාජ මාධ්‍ය තුළත් ඔවුන්ට බංකර ඇතුළට රිංගන්න වෙලා’

ඒ වගේම ඔවුන්ට තිබුණු ලොකුම හයිය තමයි ඒ කාලය් රට වටේම පෝස්ටර් ගහලා, ඒ පෝස්ටර් වලින් තමන්ම මංමුලා වෙලා ඔවුන් දේශපාලනය කළේ. සමාජ මාධ්‍යවල “හා හා” රියැක්ෂන් දාලා, අනෙක් අයට කුණුහරප ලියලා, නිවන් සැප කියලා කොමෙන්ට් දාලා, තිත්ත කුණුහරපෙන් බැනලා තමයි ඔවුන්ගේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙන ගියේ.

නමුත් ඊයේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ කතාවට ඉතිහාසයේ පෙර නොවූ විරූ “හා හා” රියැක්ෂන් වර්ෂාවක් ආවා. මෙයින් පේන්නේ අද සමාජ මාධ්‍ය තුළත් ඔවුන්ට බංකර ඇතුළට රිංගන්න වෙලා තිබෙන බවයි. මේක ජනතාවගේ පැත්තෙන් විශාල ජයග්‍රහණයක්. ඒ වගේම සමාජීය ක්‍රියාවලියෙ හැරවුම් ලක්ෂයක් තමයි අද මේ ඇති වෙලා තියෙන්නේ,” යැයි පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න