ආණ්ඩුව මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම්, භාෂණයේ හා ප්රකාශනයේ නිදහස මෙන්ම මාධ්ය නිදහස බරපතල ලෙස උල්ලංඝනය වන බව පවසමින්, එම පනත් කෙටුම් පතේ අණ්ඩුක්රම ව්යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය විසින් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ නිර්ණය පෙත්සමක් ගොනු කර ඇත.
ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමයේ සභාපති රංග බණ්ඩාරනායක සහ විධායක සභික ලක්ෂ්මන් මුතුතන්ත්රීගේ මෙම පෙත්සමේ පෙත්සම්කරුවන් වශයෙන් පෙනී සිටින අතර, වගඋත්කරුවන් ලෙස නීතිපතිවරයා සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්ය ආනන්ද විජේපාල නම් කොට ඇත. මෙම පෙත්සම ජ්යෙෂ්ඨ නීතීඥ ලක්ෂාන් ඩයස්ගේ උපදේශකත්වයෙන් නීතීඥ දයානි පන්ඩිතරත්න ගොනු කර ඇත.
ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත(PSTA) පූර්ණ වශයෙන් හෝ එහි ඇති ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් මෙම පෙත්සම මගින් පෙත්සම්කරුවන් ශ්රේෂ්ඨාධිකරණයෙන් අපේක්ෂා කරනු ලබයි.
එමෙන්ම ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි ඇතැම් වගන්ති ( 3, 4(c), 4(d), 10, 11 ) සංශෝධනය කොට සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය සමඟ ජනමත විචාරණයක ජනතා කැමැත්ත අවශ්ය බවට නියෝග කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී. පනතේ ඇතැම් වගන්ති ( 12(1), 13, 14, 14A, 76(1) ) සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීමට අවශ්ය සංශෝධන ඉදිරිපත් කරන මෙන්ද පෙත්සම්කරුවෝ ශ්රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.
පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් ආරක්ෂණ (11, 21-25, 31-36, 44(3), 56-58, 59(5), 60(2), 71) වගන්ති සහ 48/1979 අංකය දරණ ත්රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත(PTA) අවලංගු කිරීමේ යෝජනාවට පෙත්සම්කරුවන්ගේ එකඟතාවය පල කොට ඇත.
අදාළ (PSTA) පනත් කෙටුම්පතේ පූර්විකාවෙන් දක්වා ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළීබඳ ජාත්යන්තර ගිවිසුම(ICCPR) හා බැඳෙමින් මෙම පනත ඉදිරිපත්කොට ඇති බව වුවද අදාල පනත් කෙටුම්පතෙහි පවතින වගන්තීන් මගින් උල්ලංඝනය කොට ඇත්තේත් එයම වීම පිළිබඳව මෙම පෙත්සම තුළින් වැඩිදුරටත් අවධාරණය කොට ඇත.
මීට අමතරව පෙත්සම්කරුවන් විසින් පහත කාරණා සම්බන්ධයෙන්ද මූලික විරෝධතාවයන් දක්වා ඇත.
* ත්රස්තවාදය යන්නෙහි අපැහැදිලි අර්ථ නිරූපනය.
* රහස්ය තොරතුරු රැස්කිරීම හා මූලාශ්ර හෙලි කිරීම පුළුල් කිරීම මගින් මාධ්යවේදීන්ගේ නීත්යානුකූල වෘත්තීය කටයුතු වලට තර්ජනයක් වීම.
* නොදැන්වීම මත හෝ විභාගයකින් තොරව ජනාධිපතිවරයා වෙත සංවිධාන තහනම් කිරීම සහ අපරාධමය වගකීම පැවරීම සඳහා බලය ලබා දීම.
* ඇතැම් ප්රකාශන පළකිරීම,බෙදාහැරීම හෝ සන්තකයේ තබා ගැනීම අපරාධමය වරදක් බවට පත්කිරීම
* වරෙන්තු නොමැතිව සෝදිසි කිරීම්-අත්අඩංගුවට ගැනීමේ බලතල සන්නද්ධ හමුදාවන් හා වෙරළාරක්ෂක නිලධාරීන් වෙතද පැවරීම.
* සැකකරුවෙකු මහේස්ත්රාත්වරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පෙර හමුදා රැඳවුම් කාලය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට ඉඩ සැලසීම.
* විධායක බලය මත සැකකරුවකුගේ රැඳවුම් කාලය වසරක් දක්වා දීර්ඝ කිරීම තුළින් මහේස්ත්රාත් සහ මහාධිකරණ බලතල සීමා කිරීම.
* විධායකය විසින් තහනම් ස්ථාන නම් කිරීම, රැස්වීම, පෙළපාලි, විරෝධතා, ගමනාගමනය සහ සන්නිවෙිදනය සඳහා නිදහස අහිමි කිරීමේ බලය විධායකය සහ පොලිස් නිලධාරීන් වෙත පැවරීම.
* නීතිපතිවරයාට වසර 20ක් දක්වා නඩු පැවරීම කල් දැමීමට හෝ අත්හිටුවීමට පහසුකම් සැලසීම.
* බලහත්කාර බලපෑමක් ඔස්සේ වරදකරුවනට පසුතැවීම හෝ සමාව ඉල්ලීමට පෙළඹවීම ඔස්සේ වන්දි හෝ ප්රතිපූරණ ලබා දීමේ තීරක බලය නීතිපතිවරයා වෙත පැවරීම.
* දේශපාලන ස්ථාවරයන් දැරීම මත දඬුවම් පැමිණවීමට නියම කිරීම.
* වධහිංසාවන් වැළැක්වීම පිළීබඳ පනත හෝ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වැනි පනත් මගින් දක්වා ඇති නීතිමය වගකීමෙන් නිදහස් වීමට යහපත් චේතනාව මත නිලධාරීන් සිදුකරන ක්රියාවන්ට අවකාශ සැලසීම හා ඇතැම් ක්රියා සඳහා සිවිල් හා අපරාධ නඩු පැවරීම් වලින් ආවරණයක් ලබා දීම.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
