හොරෙන් රට රස්සාවට ගියොත් බලාගෙනයි - මනුෂ අනතුරු හඟවයි !

හොරෙන් රට රස්සාවට ගියොත් බලාගෙනයි - මනුෂ අනතුරු හඟවයි !

නීති විරෝධී ලෙස පුද්ගලයින් විදේශ රැකියා සදහා පිටත්ව යාමට විරුද්ධව දැඩි පියවර ගන්නා බවත් එසේ නීති විරෝධී ලෙස පුද්ගලයින් රැකියා සදහා පිටත්කරන යවන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන දැඩි දඩුවම් පමුණවන බවත් විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

විදේශ රැකියාවල නිරතව සිටියදී මිය ගිය පුද්ගලයින් සදහා වන වන්දි ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති උත්සවයකදී අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

ස්වභාවික හේතු සහ වෙනත් හේතු නිසා මිය ගිය පුද්ගලයින් විසි දෙදෙනෙක් සදහා මෙහිදී වන්දි පිරිනැමුවේය. දේශීය රක්ෂණ අරමුදල්වලින් රුපියල් ලක්ෂ හැටක මුදලක් සහ විදේශීය රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ දහයක් ලෙස රුපියල් ලක්ෂ හැත්තෑවක වන්දි මුදලක් මෙහිදී පිරිනැමුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද සදහන් කළේය.

නීති විරෝධී ආකාරයට මැලේසියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් පසුගියදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. කිසිදු ලියාපදිංචියක් නොමැතිව මේ අය මුදල් ලබාගෙන රැකියා සදහා පිටත් කර යවනවා. එසේ රැකියා සදහා පිටත් කර යවන විට ඒ අයගේ සුරක්ෂිතතාවය පිළිබද සොයා බලන්න බැහැ.

ඇතැම් අවස්ථාවලදී කොරියා රැකියා ලබාදෙන බව කියමින් මුදල් ගරන ජාවාරම්කරුවන් පිළිබදවත් තොරතුරු අපිට ලැබෙනවා. ඒ ගැනත් අපි අවධානය යොමු කර තිබෙනවා. කිසිම අවස්ථාවකදී ජාවාරම්කාර අතරමැදියන්ට මුදල් ලබාදෙන්න එපා.

විදේශ රැකියාවක් සදහා පිටත්ව යන සෑම අයෙක්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී යන්න කියලා කියන්නේ හේතුවක් ඇතිවයි. රැකියාවක් සදහා යන විට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී එම ශ්‍රමිකයා සම්බන්ධයෙන් අපිට බැදීමක් තිබෙනවා. එම ශ්‍රමිකයා සේවය කරන්නේ කුමන ස්ථානයේද යන්න ගැන අපිට සෑම අවස්ථාවකදීම බලාගන්න පුලුවන්. ඒවගේම කිසියම්  කරදරයක් සිදුවුනොත් වහාම මැදිහත්වීමේ හැකියාව තිබෙනවා.

එසේ නොමැතිව ලියාපදිංචි නොවී නීති විරෝධී ආකරයට විදේශගතවී කිසියම් අනතුරකට ලක් වුවහොත් ඒ ශ්‍රමිකයා සිටින තැන සොයා ගැනීමට අපහසු වෙනවා. ඒ වගේම තමයි ශ්‍රමිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේදීත් විවිධ බාධා ඇතිවෙනවා. එහෙත් ලියාපචිංචිවී විදේශ රැකියා සදහා පිටත්ව යන අයගේ අයිතීන් හා සුරක්ෂිතාවය වෙනුවෙන් අපිට පෙනී සිටින්න පුලුවන්.

අද වන්දි පිරිනමන බොහෝ අය ස්වභාවික හේතු නිසා මිය ගිය අය. එහෙත් ලියාපදිංචිවී විදේශගතවී ඇති නිසා ඔවුන්ට රක්ෂණ වන්දි ලබාදීමට හැකිවී තිබෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ පවුල්වල අය, අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් සුභසාධන අංශය හරහා අවශ්‍ය පියවර ගැනීමට හැකිවී තිබෙනවා. අපි ඒ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඕනෑම සහායක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. අපේ අමාත්‍යාංශය භාර කැබිනට් ඇමැතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමා ඒ සදහා අවශ්‍ය සියලුම මැදිහත්වීම් කරනවා.

මේ අවස්ථාව සදහා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී සේනුල ජයන්ත, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. එම්. වී වනසේකර මහතා සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න