ශ්‍රීලනිප නව නායකයින් පත්වෙයි : අලුත් මහ ලේකම්ට නායකයා පැටලෙයි !

ශ්‍රීලනිප නව නායකයින් පත්වෙයි : අලුත් මහ ලේකම්ට නායකයා පැටලෙයි !

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සඳහා වූ  නව නිලධාරි මණ්ඩලය අද (03) පත්කර ගනු ලැබූ අතර එහිදී පක්ෂයේ සභාපති ධූරයට නැවතත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ පක්ෂයේ  නව මහලේකම් ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස  තෝරාපත් කරගෙන ඇත.

අලුත් ලේකම්ට නායකයාගේ නම වැරදෙයි !

ඒ පිළිබඳ මාධ්‍ය වෙත දැනුම්දීම සඳහා  නව නායක මණ්ඩලය අපේ ගම පරිශ්‍රයෙන් පිටතට පැමිණි අවස්ථාවේ නව මහලේකම්  මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ට මාධ්‍ය හමුවේ අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගීම  ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ගේ  නායකත්වයෙන් කියනු වෙනුවට  ඔහුට   "මහින්ද රාජපක්ෂගේ" නම කියවුණු අතර නමුත් ඒ මොහොතේම ඔහු එය නිවැරදි කර සිටියේය.

අලුත් ශ්‍රීලනිප නායකත්ව මණ්ඩලය මෙන්න 

කෙසේ  වුවත් නව නිලධාරී මණ්ඩලය පිළිබඳ විශේෂ නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය   විසින්  නිකුත් කර  තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව  ජාතික සංවිධායකවරයා ලෙස අමාත්‍ය දුමින්ද දිසානායකත් , භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකත් පත් කරගෙන ඇත. එසේම  පක්ෂයට ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් සිව් දෙනෙකු පත්කර ඇති අතර  ඒ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය ඩබ්.ඞී. ජේ. සෙනෙවිරත්න, අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ උප සභාපතිවරු ලෙස ඒ.එච්.එම්. ෆවුසි, සරත් අමුණුගම, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රෙජිනෝල්ඞ් කුරේ, පියසේන ගමගේ, විජිත් විජයමුණිද ද සොයිසා, මහින්ද සමරසිංහ, ඩිලාන් පෙරේරා, දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන්  පත්කර ඇත.

නව උපලේකම්වරු ලෙස අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසානයක, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය, ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන පත්කර තිබේ.

මහින්දගේ තනතුර යළිත් !

එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනාධිපතිවරු සහ අගමැතිවරු පක්ෂයේ උපදේශක මණ්ඩලය ලෙස මෙහිදී තෝරාපත්කර ගනු ලැබූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න පක්ෂයේ උපදේශක මණ්ඩලය ලෙස පත්කර ඇත.

තවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට කටයුතු කරන සියලූම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු මධ්‍යම කාරක සභාව සඳහා පත්කර තිබෙන අතර ඊට අමතරව පක්ෂයේ සභාපති විසින් මධ්‍යම කාරක සභාවට පත්කළ යුතු අනෙකුත් පත්වීම් ඉදිරියේදී සිදුකිරීමට නියමිතය.ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව ස්ථාපිත කළයුතු සඟ , වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය නියෝජනය කරන සංවිධායකවරු, වෘත්තිකයින්, කලාකරුවන් ඇතුළු  ජාතික වැදගත්කමක් ඇති විවිධ සංවිධාන හා ඊට අනුබද්ධිත සංවිධාන ඉදිරියේදී පත්කර ගැනීමට නියමිතව තිබේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න