මාලිමා ආණ්ඩුව විදෙස් ගත ශ්‍රමිකයින් ද රවටා ඇති බව මේ අය වැය තුළ දක්නට ලැබෙන බවත්, මාලිමා නායකයෝ මැතිවරණයට පෙර විදෙස් ගත ශ්‍රමිකයින්ට ලබා දුන් එකම පොරොන්දුවක් හෝ ඉටු කර නැති බවත් නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගිෂ්වර බණ්ඩාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ 21වන දා නුගේගොඩ රැළිය පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීම සඳහා පැපිළියාන පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුගිෂ්වර බණ්ඩාර...
විදෙස් ගත ශ්‍රමිකයින්ට දුන් පොරොන්දු ඉටු කර නැහැ
''මාලිමා ආණ්ඩුව බලයට ගේන්න පුමුඛතම කාර්යක් කළේ විදෙස්ගත ශ්‍රමිකයෝ. අපේ රටේ ඩොලර් සංචිතය ශක්තිමත් කරන ප්‍රධානතම අංශය විදෙස් ගත ශ්‍රමිකයෝ ලංකාවට එවන විදෙස් ප්‍රේෂණ. විදෙස් ගත ශ්‍රමිකයෝ අනුර කුමාර මහත්තයා හා මාලිමාව ගැන විශ්වාසය තියලා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හදන්න තමන්ගේ අතින් ගුවන් ටිකට් පත අරගෙන නිවාඩු දාගෙන සුබ නැකතට රට අනුරට බාර දෙන්න ඡන්දය පාචිච්චි කළා. හැබැයි මාස පෝය 12 ක් ගෙවිලා ආණ්ඩුවට අවුරුද්දක් ලබලා තියෙද්දි මාලිමාව විදෙස් ගත ශ්‍රමිකයිනුත් රවට්ටලා තියෙනවා කියලා මේ අය වැය බැලුවම පේනවා.
එදා මාලිමාවේ නායකයෝ විදෙස් ගත ශ්‍රමිකයින්ට ලබා දුන් එකම පොරොන්දුවක්වත් ඉටු කරලා නෑ. ඡන්දයට කලින් විදෙස් ගත ශ්‍රමිකයින්ට ඡන්ද බලය ලබා දෙනවා කිව්වා. හැබැයි මේ 2026 අයවැයෙන් විදෙස් ගත ශ්‍රමිකයින්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන්න එක රුපියලක්වත් වෙන් කරලා නෑ.
විදෙස් ගත ශ්‍රමිකයකු සඳහා රු 1100ක්...!
ඊළඟට විදෙස් ගත ශ්‍රමිකයින් සඳහා සුදුසු විශ්‍රාම වැටුපක් හදනවා කිව්වා. මෙවර අයවැයෙන් විදෙස් ගත ශ්‍රමිකයින්ගේ විශ්‍රාම වැටුප හදන්න රු බිලියන 2ක් වෙන් කරලා තියෙන්නේ. එනම් මිලියන 2000ක්. අපේ රටේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියා පදිංචි විදෙස් ගත ශ්‍රමිකයෝ ප්‍රමාණය මිලියන 1.8 වැඩි. මේ ලියාපදිංචි ගණන. ලියා පදිංචි නොවුන තව ලක්ෂ 5ක් පමණ ඉන්නවා. අපි ඒ ලක්ෂ 5 අමතක කරලා මිලියන 2000 මිලියන 1.8 බෙදුවොත් ශ්‍රමිකයකු සඳහා වෙන් කරලා තියෙන්නේ රු 1100යි. අපි විජිත හේරත් ගෙන් අහනවා රු 1100 දෙන්න පුළුවන් විශ්‍රාම වැටුප මොකක්ද කියලා.
මෙහෙම විදෙස් ගත ශ්‍රමිකයින් අන්දපු ආණ්ඩුවක් පහුගිය වසර 76 තුළ ම තිබුණේ නෑ. ඔවුන්ගේ ඡන්ද බලය ගැන මේ වනවිට කිසිදු කතාවක් නෑ. නමුත් විදෙස් ගත ශ්‍රමිකයන්ට තමන් සිටින රටවල තානාපති කාර්යාල හරහා ඡන්ද බලය ලබා දෙන්න කටයුතු කරන බව තමා මේ අය කලින් කිව්වේ. මේ අයවැය බැලුවම අපිට පේන්න තියෙන්නේ හොඳට විදෙස් ගත ශ්‍රමිකයින්ව අන්දලා තියෙනවා අන්දන්න තියෙන හොඳම එකෙන් විදෙස් ගත ශ්‍රමිකයින්ට ඡන්ද බලය ලබා දෙනවා කියලා.
අහිංසකයින්ගේ කඳුළුවලට වංචා කරන්න එපා
ඊළඟට ඡන්ද කාලේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා විදෙස් ගත සේවකයින් මුහුණ දෙන වැටුප් විෂමතා හා දුෂ්කරතා ඉවත් කරන්න රාජ්‍ය ත්‍රාන්තික මට්ටමින් මැදිහත් වෙනවා කියලා. අවුරුද්දක් යනකොට ආණ්ඩුවට ඒ පාරොන්දු අමතක වෙලා. මේ අයවැයේ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ වැටුප් - දුෂ්කරතා විසඳන වැඩක් ගැන කතා කරලවත් නෑ.
මේ වනවිට අපිට තොරතුරු ලැබිලා තියෙනවා තානාපති කාර්යාල වල ගෟහ සේවිකාවන් විශාල පිරිසක් ඉන්නවා වැටුප් ගැටලු තියෙන; ඒ වගේම විවිධ අඩත්තේට්ටම්වලට ලක් වුණු. නමුත් ඔවුන් සම්බන්ධව නිසි ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒ අහිංසකයින්ගේ කඳුළුවලට වංචා නොකර ඒ දුන්නු පොරොන්දු ඉටු කරන්න කියලා අපි විජිත හේරත්ට බල කරලා කියන්න කැමති.
විදෙස් ගත ශ්‍රමිකයින්ට තහනමක්
ඊළඟට මේ අය වැයේ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ තීරු බදු පහසුකම් පුළුල් කිරීමට යෝජනා කරනවා. හැබැයි ජනාධිපතිතුමා යටතේ තියෙන ආයතනයක් වන රේගුවෙන් චක්‍රෙල්ඛයක් ගහලා තියෙනවා අද ඉඳලා විදෙස් ගත ශ්‍රමිකයෝ ලංකාවට එවන භාණ්ඩ වලට තහනමක් පනවලා. ඒ අනුව ඔවුන් විදෙස් රටවල පාචිච්චි කළ රූපවාහිනි, රෙදි සෝදන යන්ත්‍ර, ලීබඩු ගෟහ උපකරණ ලංකාවට ගෙන ඒම තහනම් කරලා තියෙන්නේ. මේ තහනමෙන් වැඩි දුරටම පීඩාවට පත් වෙන්නේ මැද පෙරදිග වැලි කතරේ දහඩිය කඳුළු වගුරන විදෙස් ගත ශ්‍රමිකයෝ.
මැද පෙරදිග යන ශ්‍රමිකයින්ගේ ලොකු හීනයක් තමයි මොන දුක් විදලා හරි අවුරුදු දෙකක් ඉඳලා ලංකාවට යනකොට පාචිච්චි කරපු හරි රූපවාහිනි, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර ලංකාවට ගෙන යන එක. අද මාලිමාව ඒ හීනයට තිත තියලා තියෙනවා. සමහර වෙලාවට විදෙස් හාම්පුත්තු තම සේවකයින් සේවිකාවන් හොඳින් වැඩ කළා ම ඔවුන් ආපසු ලංකාවට යද්දි ගෙදර පාවිච්චි කරපු උපකරණ තෑගි කරනවා. දැන් මේ අලුත් චක්‍රෙල්ඛය අනුව ඒ කිසිම භාණ්ඩයක් ලංකාවට ගේන්න බෑ. ඒ නිසා විදෙස් ගත ශ්‍රමිකයින් නොමරා මරන්න ආණ්ඩුව කටයුතු කරනවා.
පචපති ගේ පච
වසර 76 ශාපයට වෛර කරලා ඒ ශාපයෙන් මිදෙන්න අවශ්‍යයි කියලා හිතපු විදෙස්ගත ශ්‍රමිකයින්ට අද වෙලා තියෙන්නේ 76 වසර ශාපයට වඩා ඝන අදුරක වෙළී සිටිමට යි. මින් පෙර කිසිම ආණ්ඩුවක් විශේෂයෙන් ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලයේ විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට එවූ ප්‍රේෂණ ප්‍රමාණය මත තීරු බදු වාහන පවා ලබා දුන්නා. දැන් ඒ වැඩපිළිවෙළ ගැනවත් මේ අයවැය තුළ සාකච්ඡා වෙලා නෑ. ඒ නිසා විදෙස්ගත ශ්‍රමිකයින් කබලෙන් ලිපට ඇදලා දාපු අයවැයක් තමයි මේ ආණ්ඩුව ඉදිරිපත් කළේ.
පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න හරි හම්බ කර ගත්ත දේවල් හා පොදි බැද ගත්ත දේවල් ලංකාවට ගේන්න බලන් ඉද්දි රේගුවෙන් ගහපු චක්‍රෙල්ඛනය නිසා විදෙස් ගත ශ්‍රමිකයින්ට දැන් වෙලා තියෙන්නේ වෛරී දේශයක හිස් අතින් ලංකාවට ඇවිල්ලා පචපති ගේ පච ටික අහගෙන අනේ අපොයි කියන්න තමයි.''

