Language Switcher

V2025

ජනාධිපති මන්දිරයේ සිට විනිසුරුවරුන්ට රාජ නියෝග නිකුත් කළා අමතකද? - තලතා 

ජනාධිපති මන්දිරයේ සිට  විනිශ්චයකාරවරුන්ට නියෝග දුන් කාලයක් වූ  2015 ජනවාරි 08 වැනිදාට පෙර මේ රටේ තිබුණු තත්ත්වය අද ඇතැමුන්ට අමතකවී ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරළ සඳහන් කරයි.

අමාත්‍යවරිය  මෙම අදහස් පළ කළේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් දැක් වු අධිකරණ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

අද කිසි කෙනෙකුට චෝදනා කරන්න බැහැ අධිකරණය මෙහෙය වන්නේ මේ රටේ ජනාධිපති කියලා. ඒ කාලේ අපි දැක්කා රටේ ජනාධිපති මන්දිරයේ ඉදලා විනිශ්චයකාරවරුන්ට නියෝග ලැබුණ කියලා. ඒවා අද සමහර අයට අමතක වෙලා තිබෙනවා. ඒවායේ  ප්‍රතිඵලයක් විදිහට පුදුම විදිහේ පාතාලයක් මේ රටේ බිහි වුණා .

කාර් හොරකම් කරන පාතාලයක් බිහි වුණා. මත් ද්‍රව්‍ය වලින් පිරුණු මිනීමරුවන් රජ කරන පාතාලයක් මේ රට තුළ බිහි වුණා.ඒ පාතාලය මේ රටේ අහිංසක මිනිස්සු දුක් විදලා අමාරුවෙන් හම්බ කරපු ගෙවල් දොරවල් මං කොල්ල කන පාතාලයක් වුණා. ඒක එදා රටක් විදිහට අපි මුහුණ දුන් අභියෝගයක් බවට පත් වුණා. මෙතන ඉන්න ඔබ සියලු දෙනාම බලාපොරොත්තු වන්නේ අපේ දරුවන්ට යහපත් අනාගතයක් ස්ථාපිත කරන්නේ කොහොම ද කියලා.

ඒ කාලයේ සූරිය වැව ප්‍රදේශයේ කළ ද්විත්ව ඝාතනයක් හේතුවෙන් හිටපු OIC වරයෙකුට නීතිපතිවරයාත් අධි චෝදනා ගොනු කර තිබුණා. ඒ තිබියදීත් ඒ කාලේ තිබුණු රාජ නියෝගය  අනුව එම චෝදනා අයින් කරලා ඔහු ගෙනල්ලා මොරටුව පොලිස් ස්ථානාධිපති කළා. අවසාන ප්‍රතිඵලය වුණේ අගුලානේ අහිංසක තරුණයන් දෙදෙනෙක් ඝාතනය කරලා ඒ අයට යන්න තිබුණු තැනට යන්න වුණා ඒ වගේ කාලයක් මේ අධිකරණ පද්ධතියේ තිබුණා.

අද සමහර අය නොයෙකුත් මත පතුරුවා ගෙන යනවා .සමහර අය කියා ගෙන යනවා බුදු දහමට නිසි තැනක් නැහැ. පන්සලක් හදන්නත් සර්ව ආගමික කමිටුවලින් අවසර ගන්න ඕන. පාසැල්වල උදේට පන්සිල් ගන්න එක නතර කරනවා ආදී වශයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. අපි මේ අයට කියන්න ඕන මොනතරම් අසත්‍ය ප්‍රචාර අර ගෙන ගියත් මේ රටේ ජනතාව බුද්ධිමත්.සමහර වෙලාවට අපට විරුද්ධව ඉන්නවා මත් ද්‍රව්‍ය ව්‍යාපාරවල ඉන්න අය .බලෙන් ඉඩම් ලියා ගත්ත පාතාලේ අය ඉන්නවා. නොයෙකුත් නීති විරෝධි කටයුතු කරන අය අපිට විරුද්ධව ඉන්නවා .අපි අපේ රටේ අධිකරණයට නායකත්වය ලබා දෙන අගවිනිසුරුතුමා ඇතුළු අධිකරණයට මේ නීති විරෝධී ක්‍රියා පාලනය කිරීම සදහා අවශ්‍ය ශක්තිය ලබා දෙන බව ද අමාත්‍යවරිය සදහන් කළාය.