Language Switcher

V2025

බිෂොප් විදුහල අසල රාත්‍රී සමාජශාලාව ඉවත්කර දෙන්න - මුදල් ඇමතිට පැමිණිල්ලක් !

කොළඹ  07, බිෂොප් කාන්තා විද්‍යාලය තදාසන්නයේ පවත්වාගෙන යන බලපත්‍ර රහිත මත්පැන් අලෙවිසැල ඇතුලත්  කැරෝකේ රාත්‍රී  සමාජ ශාලාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරදෙන මෙන් ඉල්ලා   බිෂොප් කාන්තා විද්‍යාලයේ මව්පියන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

ලිඛිතව සිදුකර ඇති මෙම පැමිණිල්ල හරහා මව්පියන් පෙන්වා දෙන්නේ සිල්ක් රෝඩ් නම් චීන කැරෝකේ රාත්‍රී සමාජ ශාලාව කාන්තා විදුහලක් ආසන්නයේ පවත්වාගෙන යාම කිසිසේත් අනුමත කළ නොහැකි සහ බාලිකා පාසලක් බැවින් එය එම ස්ථානයට කොහෙත්ම සුදුසු නොමැති ස්ථානයක පවතින බව තම අදහස බවය.

එසේම පාසලක් හෝ ආගමික සිද්ධස්ථානයක් ආසන්නයේ මීටර් 500ක් ඇතුළත මත්පැන් අලෙවි සැලක් පවත්වාගෙන යාම තහනම් වුවත් අදාළ රාත්‍රී සමාජ ශාලාව පාසලට මීටර් 150ක් පමණ ආසන්නව පිහිටා තිබියදීත්  නීතියට වැලි ගසා අදාළ ස්ථානයේ මත්පැන් අලෙවියද මහා පරිමාණයෙන් සිදුකරන බවද එහි සඳහන් ය.

තවද  මෙම රාත්‍රී සමාජ ශාලාවේ හිමිකරුවන් 2017 වසරේ සුරාබදු නිලධාරීන්ට අල්ලස් ලබාදී ඊට මත්පැන් බලපත්‍රයක් ලබාගත් නමුත් මාපියන් විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට දිගින් දිගටම පැමිණිලි කිරීමෙන් සහ අභියාචනාධිකරණයේ ගොනුකළ 173/2017 නඩුවේ තීන්දුව මත එම මත්පැන් බලපත්‍රය 2018 වසරට අදාලව තහනම් කර ඇතත් අදටත් රාත්‍රී සමාජ ශාලාව විවෘතව තිබෙන පස්වරු 6.00-පෙරවරු 4.00 කාලය තුළ  මත්පැන් අලෙවිය නවතා නොමැති බවද එහි සඳහන්ව ඇත.

173/2017 නඩුවේදී අදාළ ස්ථානය වෙනුවෙන් 2018 වසර සඳහා  මත්පැන් බලපත්‍රයක් නිකුත් නොකරන බවට සහ නීති විරෝධී මත්පැන් ජාවාරම සිදුකිරීමට ඉඩනොතබන බවට  සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නීතිපති මාර්ගයෙන් අධිකරණයට දන්වා ඇති නමුත් තවදුරටත් එම නීති විරෝධී ක්‍රියාව සිදුවීම ප්‍රශ්නකාරී බවද මව්පියන් අමාත්‍යවරයාට දැනුම්දී ඇත.