රේන්බෝ සහ නිව් රේන්බෝ විදේශ රැකියා ආයතන දෙක නිසා අගතියට පත් 640කට වැඩි ප්‍රමාණයකට නොමිලේ නීති සහාය ලබා දීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (20) නුගේගොඩ ගංගොඩවිල උසාවිය අසල දී රේන්බෝ හා නිව් රේන්බෝ විදේශ රැකියා නිසා අගතියට පත් පාර්ශ්ව විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාව සමග එක්වෙමිනි.
මීට අදාළ නඩු කටයුතු ද අද පැවැත්විණි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
640කට වැඩි ප්‍රමාණයකට නොමිලේ නීති සහය
''රේන්බෝ සහ නිව් රේන්බෝ විදේශ රැකියා ආයතන දෙක නිසා අගතියට පත් 640කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. මෙම අයතන මේ අයට කෝටි 86-90ක පමණ වංචාවක් සිදු කර තිබෙනවා. මේ වංචාව නිසා අසහනයට පත් අයට නොමිලේ නීති සහාය ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඔවුන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටිනවා. මේ ගැටලුව නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
වංචාවට සම්බන්ධ අය වහාම අත් අඩංගුවට ගන්න
මේ වන විට මෙම වංචාවට අදාළව එක් අයකු පමණක් අත්අඩංගුවට ගත්තත් තවත් අය සිටින නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස රජයට බලපෑම් කරනවා. මෙවැනි වංචනික ආයතනවලට විදේශ රැකියා ක්ෂේත්‍රයේ වංචා නතර කිරීමට සියලු පියවර ගන්නවා. යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනෑ ම අවස්ථාවක අපි පෙනී සිටිනවා. මෙය බරපතල සමාජ ගැටලුවක්. අමාරුවෙන් මුදල් උපයන මිනිසුන් ගේ මුදල් මංකොල්ලකන පුද්ගලයන් වෙනුවෙන් විධිමත් නීති පද්ධතියක් නිර්මාණය කළ යුතු යි. අද මේ අගතියට පත් අයට නොමිලේ නීති සහ ලබා දෙන්නේ සමගි ජන බලවේගය යි.''


