කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කොට ඇති, මේවන විට රටින් පළාගොස් සිටින ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් නාවික හමුදා නිලධාරීයා අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන් දිනය වන විටත් ඔහු නාවික හමුදා නිලධාරීන් සඳහා වන නිවස්නයක රැඳී සිටි බවට සාක්ෂි පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් නිලධාරියා අතට රුපියල් ලක්ෂ පහක මුදලක් ද ලබාදී ඔහුව නාවික හමුදා අධිවේගී යාත්‍රාවකින් වෙනත් රටකට පිටත් කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට වන අතර ඒ අනුව අධිකරණය නොමඟ යැවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නුදුරේදීම අධිකරණය විසින් නිකුත් කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.
ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් නමැත්තා අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙද්දී එවකට නාවික හමුදාපති, වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ඔහුට රැකවරණ ලබාදී තිබුණු ward room නම් නාවික හමුදා නිලධාරී නිවස්නයෙහි අංක 8 වන නිවසේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ඊට අමතරව ඔහු අතුරුදන්ව ඇතැයි නාවික හමුදාව විසින් අධිකරණයට නිල වශයෙන් දැනුම් දුන් දිනය වන විටත් ඔහු අදාළ නාවික හමුදා නිවස්නයෙහි රැඳී සිටි බවට සාක්ෂි සඳහා ඔහුට එම දිනවල නාවික නිලධාරී භෝජනාගාරයෙන් ආහාර නිකුත් කළ බවට සඳහන් ලේඛන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙයි.

