මතභේදයට තුඩුදුන් ටෙන්ඩරයේ පළමු ගල් අඟුරු තොගයෙන් ඩොලර් මිලියන 02කට අධික පාඩුවක් අය කර ගැනීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කරයි.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.
මෙම ටෙන්ඩරය හරහා ගෙන්වනු ලැබුවේ බාල ගල්අඟුරු නොවන බව අමැතිවරයා අවධාරණය කළේය.
ගල් අඟුරු සඳහා වූ පිරිවිතර 09න් පිරිවිතර 06ක් ප්‍රශ්න කරනු ලබන ගල් අඟුරු තොගය සපුරා ඇති බව හෙතෙම කීවේය.
අසමත් වූ පිරිවිතරයන්ගෙන් එකක් වූ කිලෝ එකක් සඳහා වූ කිලෝ කැලරි ප්‍රමාණයේ අඩුවක් පවතින බව පිළිගත් ඇමතිවරයා, ගල් අඟුරු නිධිවලින් ලබා ගන්නා ගල් අඟුරුවල මෙවැනි අඩු වැඩි වීම් අසාමාන්‍ය නොවන බව පෙන්වා දුන්නේය.
2020 සිට 22 දක්වා කාලයේ දී එවැනි අවස්ථා පැමිණි බවත් එවැනි අවස්ථාවලදී රජයට හෝ ගල් අඟුරු සමාගමට පාඩුවක් සිදු නොවීම සඳහා ගිවිසුමේම සඳහන් ආකාරයට ගල් අඟුරු ආනයන සමාගමෙන් දඩ මුදල් අය කර ගැනීම සිදුවන බවත් ඔහු කීවේය.
මෙවර ඒ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 02කට වැඩි මුදලක් අදාල සමාගමෙන් අය කරගැනීමට කටයුතු කරන බව කී ඇමතිවරයා, ඉන් අනතුරුව රටට පැමිණි ගල් අඟුරු නැව් තොග දෙකම අදාල පිරිවිතරය සපුරා ඇතැයි කියා සිටියේය.

