ආපදාව හේතුවෙන් ලංකාවට ණය ගෙවීමට නොහැකි බව දන්වමින් සියලු රටවල් ලංකාවේ ණය කපාහැරීමකට එකඟ වෙන්නැයි රටවල් සියයකට අධික පිරිසකගේ ලිපියක් ප්‍රසිද්ධ කළ ද ලංකා ආණ්ඩුව ඒ අවස්ථාව මගහැර යැම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් යැයි ජනතා වෘත්තික මධ්‍යස්ථානයේ ජාතික කමිටු සාමාජික වෛද්‍ය ගිශාන්ත දසනායක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ 'දිට්වා' සුළි කුණාටු ව්‍යසනයෙන් පසුව රජයේ පශ්චාත් ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ දුර්වලතා පෙන්වා දීම සඳහා ජනතා වෘත්තික මධ්‍යස්ථානය අද (24) කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ගිශාන්ත දසනායක...
ඉතා ම අවාසනාවන්ත තත්ත්වයක්
"පසුගිය නොවැම්බර් අග ඇතිවුණු දිට්වා සුළිකුණාටුව කියන්නේ එක් අතකින් මේ රටේ පාලකයන්ට ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්. මේ ව්‍යසයනය වෙලාවේ අපි පැහැදිලිව දැක්කා සිංහල දෙමළ මුස්ලිම් මේ රටේ ජනතාව කිසිඳු බේදයකින් තොරව එකිනෙකාට උපකාර කරගත්ත ආකාරය. රජයට සැබෑ උවමනාවක් තිබුණ නම් මේ අවස්ථාව පාවිච්චි කරලා මේ රටේ ජාතීන් අතර තියෙන අසමගිය අහෝසි කිරීමේ මාවතකට ප්‍රවේශ වෙන්න පුළුවන්කම තිබුණා. අනිත් පැත්තෙන් අපි දන්නවා වසර 200 ක් තිස්සේ මේ රටේ ජීවත්වෙන මලෛයහ තම්ල් ජනතාව දැවැන්ත පීඩාවකට සහ අසාධාරණයකට ගොදුරු වෙලා ඉන්නේ. මේ මලෛයහ තම්ල් ජනතාවගේ ලයිම් නිවාස තිබුණු ප්‍රදේශ තමයි ආපදාව වෙලාවේ වැඩියෙන් ම නාය යෑමට ලක් වුණේ. ඒ නිසා මේ අවස්ථාවෙදිවත් ඔවුන් වෙනුවෙන් යම් සැලකිය යුතු සහන ප්‍රමාණයක් දෙන්න අවශ්‍යයි. හැබැයි ඒ කටයුත්ත ඉෂ්ට කරනවා වෙනුවට ඔවුන්ව තවමත් දෙවෙනිකොට සැලකීමක් තමයි අපට පෙනෙන්න තියෙන්නේ. අනිත් වැදගත් ම කාරණය තමයි රාජ්‍ය ප්‍රතිපත්තිවල සහ කළමනාකරණයේ දුර්වලකම මේ ව්‍යසනය වෙලාවේ හොඳින් ම පෙනෙන්න තිබුණා. ඒ සම්බන්ධයෙන් කඩිනම් මැදිහත් වීමක් කරන්නත් මේක ආණ්ඩුවට ලැබුණු හොඳ අවස්ථාවක්. හැබැයි ඒ සියලු අවස්ථා ආණ්ඩුව මගහරිමින් ඉන්න බව තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. මේ දිට්වා සුළිකුණාටුව වෙලාවේ අපිට හැකියාව තිබුණා රට වැටිලා ඉන්න ණය උගුලෙන් බේරීම සඳහා නැවත සමාලෝචනයකට යන්න. මොකද අපේ ණය ගිවිසුමේ පැහැදිලව තියනවා ආපදාවකදි ණය ගිවිසුම නැවත සමාලෝචනය කරන්න පුළුවන් කියලා. ලෝකයේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයන් 100කට වැඩි පිරිසකගේ අත්සනින් ලිපියක් පවා පසුගිය දවසක නිකුත් වුණා. මේ ආපදාව නිසා ලංකාවට ණය ගෙවන්න බැහැ. ඒ නිසා සියලු රටවල් ලංකාවේ ණය කපාහැරීමකට එකඟ වෙන්න කියලා. හැබැයි ලංකාවේ ආණ්ඩුව ඒ අවස්ථාවත් මගහැරලා යන පාටක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.
වතු සමාගම් වෙත ලියා දි ඇති ජීවිත
මේ ඔක්කොම එක්ක බලද්දි ලංකාවේ පශ්චාත් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ඉතාම දුර්වල තත්වයකට තමයි පත්වෙලා තියෙන්නේ. අපි දන්නවා සුළි කුණාටුව, ගංවතුර සහ නාය යෑම වෙලාවේ මේ රටේ ජනතාව ක්ෂණිකව මැදිහත්වෙලා ඒකට අවශ්‍ය ප්‍රතිචාර දැක්වුවා. හැබැයි ඒ වෙලාවේ ආණ්ඩුවේ මැදිහත්වීම තිබුණේ ඉතාම දුර්වල අඩියක. අපි දන්නවා රම්බොඩ ඇල්ල මාර්ගයට පස් කඳු කඩාගෙන වැටිලා මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වුණා. හැබැයි තවමත් ඒ මාර්ගයේ එක මංතීරුවක විතරයි පස් ඉවත් කරලා තියෙන්නේ. මාර්ගයේ අනෙක් කොටස පිළිසකර කිරීම තවමත් අවසන් කරලා නැහැ. දිට්වා ආපදාව නිසා වැඩිම නායයෑම් ආපදාවල පත්වුණේ මාතලේ, බදුල්ල, මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල කියන දිස්ත්‍රික්ක පහේ ජනතාව. මේ ප්‍රදේශවල තමයි වැඩියෙන් ම මලෛයහ තමිල් ජනතාව ජීවත් වෙන්නේ. ඉඩමක අයිතිය නැති, නිවසක් නැති ජීවත්වෙන්න ප්‍රමාණවත් වැටුපක් නැති මේ ජනතාව අදටත් ඉන්නේ තමන්ගේ ජීවිත වතු සමාගම්වලට ලියලා දීලා. මේ ව්‍යසනය නිසා අදටත් ඒ ජනතාව ඉන්නේ දැවැන්ත පීඩාවකට පත්වෙලා. හැබැයි තවම ඒ මිනිස්සුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න රජය මැදිහත්වෙලා නැහැ.
වතු කම්කරු ජනතාව අහිකුණ්ඨික ජීවිතයක් ගත කළ යුතු ද?
කෑගල්ල අරනායක ප්‍රදේශයේ තියනවා ආර්පිකෝ සමාගමට අයිති ප්ලාන්ටේශන් එකක් 'දෝතළුඔයවත්ත' කියලා. මේ වත්තට යන කිලෝ මීටර් 14 ක පාර ගිලා බැහැලා. ඒ නිසා ඒ ප්‍රදේශයේ ජීවත්වෙන 6000 කට වැඩි ජනතාවක් අසරණ වෙලා. ඒ අතරින් 200 ක් පාසල් ළමුන්. මේ ජනතාව අවතැන් කඳවුරක් විදිහට පාවිච්චි කරමින් හිටියේ මිනිස් පාසල පස්සේ ෆැක්ටරිය. හැබැයි දැන් ෆැක්ටරියේ වැඩ කරන්න ඕන නිසා මේ ජනතාව ඉතාම අනාරක්ෂිත විදිහට අර අවදානම් භූමියේ පදිංචි කරවන්න තමයි සූදානම් වෙන්නේ. ජාතික ගොඩනැගිලි පර්‍යේෂණ ආයතනය මේ ප්‍රදේශය නම් කරලා තියෙන්නේ රතු අවදානම් කලාපයක් විදිහට. වැස්සට අදාළව නිකුත් කරලා තියෙන ව්‍යාජ ලේඛනයක් පාවිච්චි කරල තමයි මේ ජනතාව නැවත පදිංචි කරවන්න යන්නේ. දැනට ඒ ජනතාවට කියලා තියෙන්නේ ඒ අවදානම් ප්‍රදේශවල පදිංචි වෙලා මිලී 150 ප්‍රමාණයට වඩා වැස්සොත් වහාම ඉවත් වෙන්න කියලා. එහෙම පංදිංචි වෙන්නයි වැස්සාම හකුළං යන්නයි එතකොට අහිකුණ්ඨික ජීවිතයක්ද ඒ ජනතාව ගෙවන්න ඕන ?
ASP සමාගමේ හිමිකරු ඉන්නේ ආණ්ඩුව සමග යි
දැන් මේ ජනතාවට ඉඩමක අයිතිය නිවසක අයිතිය නැති නිසා ඉඩම් නිවාස අහිමි වුණ අයට ලැබෙන ලක්ෂ 50ක මුදල පවා අහිමිවෙන තත්ත්වයක් උද්ගතවෙලා. මේ ජනතාව දන්නේ දෙමළ භාෂාව නිසා ඔවුන් ගේ ප්‍රශ්න රජයේ ආයතනවලට දැනුවත් කරන්නවත් හැකියාවක් නැහැ. මොකද මේ ප්‍රශ්නයට අදාළ රජයේ ආයතනවල තමිල් භාෂාවෙන් සේවා සැපයීමක් පවා නොවෙන ගානයි. තුල්හිරිය ප්‍රදේශයේ ASP ආයතනය මගින් ඉඩමක පස් කැපීම නිසා ආපදාව වෙලාවේ ඒ ප්‍රදේශය මුළුමනින් ම නාය ගියා. අදටත් ඒ ප්‍රදේශයේ මළසිරුරු ගොඩගැනීම පවා අවසන්වෙලා නැහැ. දැන් මේ ASP කම්පැනියේ අයිතිකාරයා ඉන්නේ ආණ්ඩුව එක්ක. ඔහුට එරෙහිව යම් පියවරක් ගන්න හෝ මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න තවම කිසිඳු පියවරක් අරගෙන නැහැ.
වැටෙන වහලෙට මුක්කු ගැසීමේ ක්ෂණික පිළියම්
අපි දන්නවා ගංවතුර නිසා ලංකාවේ බොහොමයක් සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර කඩාවැටුණා. හැබැයි ඒ ව්‍යාපාරවලින් වන්දි ලැබෙන්නේ ලියාපදිංචි කරලා තියන ඒවට විතරයි. හැබැයි අපි දන්නවා ගමක කඩයක් කරගෙන ඉන්න මනුස්සයා තමන්ගේ වෙළඳ ආයතනය තවම ලියාපදිංචි කරලා නැතිවෙන්න පුළුවන්. ලංකාවේ ව්‍යාපාරවලින් 70%කට වඩා තියෙන්නේ එහෙම ලියාපදිංචි නොකරපුවා. හැබැයි ඒ ජනතවට වන්දි ලබාදීමට ආණ්ඩුව කිසිඳු ක්‍රමවේදයක් සකස් කරලා නැහැ. ගංවතුර සහ හානි වුණු පාසල් විශාල ප්‍රමාණයක් ලංකාවේ තියනවා. ඒ බොහොමයක් පාසල් ප්‍රදේශයේ ජනතාව මැදිහත්වෙලා තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරලා තමයි දැනට ඉගැන්වීම් කටයුතු කරගෙන යන්නේ. තවමත් ඒ පාසල් යථා තත්ත්වයට ගන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීම ආණ්ඩුව පැත්තෙන් හරියට වෙන්නේ නෑ. ගංවතුරෙන් හානි වුණ පාරවල් පාලම් බෝක්කු පිළිසකර කිරීම් පවා වෙලා තියෙන්නේ වැටෙන වහලෙට මුක්කු ගහනවා වගේ ක්ෂණික පිළියම් විදිහට.
ඒ නිසා අපි ජනතා වෘත්තික මධ්‍යස්ථානය විදිහට මේ වෙලාවේ ආණ්ඩුවට කියනවා වහාම මේ දුර්වලතා හඳුනාගෙන වහාම මීට අදාළ ක්‍රියාමාර්ග ගන්න මැදිහත් වෙන්න කියලා. ඒ සඳහා අවශ්‍ය සහයෝගය දෙන්න පවා ජනතා වෘත්තික මධ්‍යස්ථානය විදිහට අපි ඕනෑම මොහොතක සූදානම් කියන පණිවුඩයත් මේ වෙලාවෙ අපි ආණ්ඩුවට මතක් කරන්න කැමතියි."
සටහන - ජයසිරි අලවත්ත

