පැවති මහ වැසි හේතුවෙන් ඇතිවු ගංවතුරින් ආනවිළුන්දාව රැම්සා අභය භුමිය තුළ පිහිටි වැව් පද්ධතියට දරුණු ලෙස හානි සිදුව ඇති බව ආනවිළුන්දාව උද්‍යාන භාර අඩවි ආරක්ෂක එච්.එම්.අජීත් කුමාර පවසයි.
ආනවිළුන්දාව උද්‍යාන භාරකරු පවසා සිටියේ ගංවතුර හේතුවෙන් ආනවිළුන්දාව , සුරුවිල සහ මායියාව වැව්වල බැම් කඩාගෙන ගොස් ඇති බවත් අනිත් වැව් පද්ධතියට ද හානි සිදුව ඇති අතර ඒ හේතුවෙන් ආනවිළුන්දාව රැම්සා තෙත් බිමේ වැව් පද්ධතිය මේ වන විට ජලය නොමැතිව පාළු ස්භාවයක් ගෙන ඇති අතර එහි රැඳී සිටි පක්ෂීන් ද මේ වන විට දැඩි අවදානමකට ලක් වී ඇති බවයි.
කෙසේ නමුත් වනජිවි නිලධාරීන් මෙම වැව් පද්ධතියේ ඉතිරි ජලය ගලා යෑම වළක්වා ලීම සඳහා අමතර බැම්මක් යොදා ජලය රදවා ගැනීමට කටයුතු කර තිබෙන බව ද උද්‍යාන භාරකරු පැවසී ය.
ආනවිළුන්දාව රැම්සා අභය භුමිය පුත්තලම දිස්ත්‍රික්කයෙ පිහිටි දෙස් විදෙස් පරිසර හිතකාමින්ගේ ආදරයට පාත්‍ර වු සුන්දර රැම්සා තෙත් බිමක් වන අතර මෙම රැම්සා තෙත් බිම තුළ දෙස් විදෙස් පක්ෂීන් සිය දහස් ගණනක් සැරිසැරිම සිදු කරති.
ඒ සමගම විවිධ උරග ජීවින් ඇතුළු විවිධ සතුන්ගේ පාරාදිසයක් ද වේ.
කෙසේ නමුත් මේ වන විට ආනවිළුන්දාව රැම්සා බිමේ වැව් පද්ධතියෙ කැඩී ගිය වැව් බැමි නැවත සකස් කිරීම සදහා අදාළ ආයතන සමග එක්ව ඉදිරියේ දී කටයුතු කරන බව පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි පැවසී ය.


