ආණ්ඩුව, වතු හාම්පුත්තුන්ගේ සාක්කු ඩොලර්වලින් පිරෙන ආකාරයට නීති, අන පනත් සම්මත කරනවා - ඉන්ද්‍රානන්ද ද සිල්වා

ආණ්ඩුව, වතු හාම්පුත්තුන්ගේ සාක්කු ඩොලර්වලින් පිරෙන ආකාරයට නීති, අන පනත් සම්මත කරනවා - ඉන්ද්‍රානන්ද ද සිල්වා

වතු කම්කරුවන් ගේ ඒ අයිතිය මංකොල්ල කමින් සමාගම් ලාභ උපයන අතර ම ආණ්ඩුව ද සමාගම්වලට වාසිදායක අන්දමින් කටයුතු කරන බවත්, වතු හාම්පුත්තුන්ගේ සාක්කු ඩොලර්වලින් පිරෙන ආකාරයට නීති, අන පනත් සම්මත කරන්නේ යැයි අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (04) හැටන් නගරයේ පැවති ''මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම්, නිවාස, මාසික වැටුප සහ පුරවැසි අයිතිය දිනා ගැනීමට අත් නොහැර සටන් වදිමු !" යන මැයෙන් සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතා ව්‍යාපාරය සහ සම අයිතිය ව්‍යාපාරය සංවිධානය කළ ජනතා සමුළුව අමතමිනි.

එම සමුළුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා...  

 වතු සමාගම් කෝටි ගණන් ලාභ ලබනවා

"කොළඹ අග නගරයේ ඊනියා නිදහස් දිනයක් සමරන මොහොතක තමයි, අපි හැටන් නගරයේ දී මලෛයහ තමිල් ජනතාව ගේ ඉඩම්, නිවාස, වැටුප් ඇතුළු අයිතිවාසිකම් ඉල්ලමින් මේ ඓතිහාසික සමුළුව පවත්වන්නේ.  2026 කියන්නේ අපේ ඉල්ලීම් දිනන වසර බවට පත් වෙන්න ඕන. එහෙම වුනොත් තමයි මේ සමුළුව ඓතිහාසික වෙන්නේ. බොරු පොරොන්දු දීලා බලය අරගෙන මලෛයහ තමිල් ජනතාව ගේ ඉල්ලීම් කුණු කූඩයට දාපු තොණ්ඩමන්ලා ඇතුළු මේ රටේ සිංහල දෙමළ පාලකයන් ගේ බොරු පොරොන්දුවලට තවදුරත් අපි ඇන්දෙන්නේ නැහැ කියන්න තමයි අද සමුළුවට ඔබ සහභාගී වෙලා ඉන්නේ. අපි දන්නවා අද සමහර තේ වතු සමාගම් කෝටි ගණං ලාභ ලබනවා. ඒ ලාභය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි වතු කම්කරුවන්ගේ ලේ කඳුළු දහදිය තමයි ඔවුන් කෝටි ගණං ලාභය විදිහට උපයන්නේ. අත්වල කරගැට එනකල් අවුරුදු 200ක් තේ දලු කඩමින් කඹුරපු එකේ වන්දියවත් වතු කම්කරුවන්ට ලැබිලා නැහැ. අපි දන්නවා ඉපදෙන හැම මිනිහෙක්ටම ජීවත් වෙන්න ඉඩමක් නිවසක් ඕන. ඒ අයිතිය මලෛයහ තමිල් ජනතාවටත් ලැබෙන්න ඕන. හැබැයි වතු කම්කරුවන්ගේ ඒ අයිතිය මංකොල්ල කමින් සමාගම් ලාභ උපයනවා. ආණ්ඩුවත් ගන්නේ ඒ සමාගම්වල පැත්ත. නීති හදන්නේ පනත් සම්මත කරන්නේ වතු හාම්පුත්තුන්ගේ සාක්කු ඩොලර්වලින් පුරවන්න විතරයි. මලෛයහ තමිල් ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ඔය පාර්ලිමේන්තුව කියන ගුබ්බෑයම මොකවත් කරලා නැහැ. අපේ ඡන්දෙන් බලයට එන හැම ආණ්ඩුවක්ම කලේ වතු හාමුපුත්තුන්ගේ සපත්තු ලෙවකාපු එක. ඒ කරලා වතු කම්කරුවට එලව එළවා පහර දුන්නා.

ස්ථිර ලිපිනයක්, නිවසක් නැති බැවින් සුබසාධනත් අහිමියි

දිට්වා සුළි කුණාටුවෙන් වැඩියෙන්ම පීඩාවට පත් වුණේ මලෛයහ තමිල් ජනතාව. ඔවුන් ගේ ලයින් නිවාස නාය ගියා. දරුවන් ගේ පාසල් ටික නාය ගියා. තමන් ගේ ළඟ ම ඥාතීන් අහිමි වුණා. හැබැයි දැන් ඒ අවදානම් කලාපවල ම නැවත ඔවුන්ව පදිංචි කරනවා. ඒ මිනිස්සුන්ට කොයිවෙලේ මැරෙයිද කියලා බයෙන් වතුවල සොච්චම් වැටුපට දලු කඩන්න වෙලා. කඩාවැටුණු වතුකරයේ පාසල් ටික සංවර්ධනය කරන්න තවම කිසිඳු සැලැස්මක් නැහැ. තමන්ට කියලා ස්ථිර ලිපිනයක් නිවසක් නැති නිසා සුබසාධන ලබාගැනීමේ දී පවා මලෛයහ තමිල් ජනතාව බරපතළ අසාධාරණයකට ලක්වෙනවා. දිට්වා වෙලාවේ විතරක් නෙවෙයි අවුරුදු 200ක් තිස්සේ මේ වෙනස්කොට සැලකීම අසාධාරණයට ලක් කිරීම තියනවා. මේ රටේ දුප්පත්කම වැඩිම වතු ප්‍රදේශවල. ළමා මන්දපෝෂණය වැඩිම වතු ප්‍රදේශවල. සෞඛ්‍යය ගැටලු වැඩිම වතු ප්‍රදේශවල. සාක්ෂරතාවය අඩුම වතු ප්‍රදේශවල. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? රටේ ආර්ථිකයට ඕන ඩොලර්වලින් විශාල පංගුවක් හොයලා දෙන වතු කම්කරුවගේ ජීවිතය මෙතරම් පහත් තැනකට ඇදලා දාපු එකට වග කියන්න ඕන කවුද ? මලෛයහ තමිල් ජනතාව ගේ ලේ කඳුළු පවා සූරාකමින් බිලියන ගණං ලාභ උපයන වතු සමාගම් මේ ප්‍රශ්නයට වගකියන්න ඕන. බොරු පොරොන්දු දිදී දශක 7ක් තිස්සේ මලෛයහ තමිල් ජනතාව රවට්ටලා බලයට ආව පාලකයෝ මේ ප්‍රශ්නයට වගකියන්න ඕන. මේ 2026 කියන්නේ ඔවුන්ගෙන් අපි ප්‍රශ්න කරන්න ඕන අවුරුද්ද.

මලෛයහ තමිල් ජනතාව ගේ අරගලය

මේ වෙනස් විදිහට සැලකීම නැති කරන්න පුළුවන් වෙන්නේ අවුරුදු 200ක් තිස්සේ වෙනස් අනන්‍යතාවක් සහිත ජනතාවක් මේ රටේ ඉන්නවා කියලා පිළිගත්තොත් විතරයි. ඒ පිළි ගැනීම එනම් මලෛයහ තමිල් ජනතාව වෙනම ජාතියක් විදිහට දැන්වත් පිළිගන්න කියලා මේ සමුළුව වෙලාවේ අපි බලකරලා කියා සිටිනවා. ඒ වගේම ලයින් නිවාස වෙනුවට පර්චස් 20කවත් ඉඩමක් සහිත නිවසක් සෑම පවුලකට ම ලැබෙන්න ඕන. වතුකරයේ දරුවන්ට ඉගෙනගන්න පුළුවන් පහසුකම් සහිත පාසල් පද්ධතියක් ලැබෙන්න ඕන. ලෙඩක් වුණාම බෙහෙත් ටික ගන්න පහසුකම් සහිත රෝහල් පද්ධතියක් ඕන. ස්ථිර මාසික වැටුපක් ඇතුළු මේ රටේ අනෙකුත් වැඩකරන ජනතාවට හිමි සියලු අයිතිවාසිකම් වතු කම්කරුවන්ටත් ලැබිය යුතුයි. හැබැයි මේ සටන්පාඨ දිනාගන්න පුළුවන් වෙන්නේ සටනක් ඇතුළේ විතරයි. ඔබව සූරාකන වතු පාලකයෝ මේ ඉල්ලීම් ලබා දෙන්නේ නැහැ. ඔබවට රවට්ටල ඡන්දෙ ගන්න පාලකයෝ මේ ඉල්ලීම් දිනා දෙන්නෙත් නැහැ. ඒ නිසා මෙතනින් එහාට මේ රටේ මලෛයහ තමිල් ජනතාවට තියනවා අරගලයක්. හැබැයි ඒ අරගලට තනි වියයුතු නැහැ. ඒ අරගලය වටා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් එකතු වියතුයි. සියලු වැඩකරන ජනතාව එකතුවිය යුතුයි."

මෙම සමුළුවේ දී අදහස් දැක්වූ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික කමිටු සාමාජිකා නිරෝෂා ගුරුගේ...

කම්පනයට පත් නොවන්නේ අමනුෂ්‍යයෝ

"ඉඩම් නිවාස මාසික වැටුප සහ පුරවැසි අයිතිය දිනාගමු කියන තේමාවෙන් අද පැවැත්වෙන මේ ජනතා සමුළුව දැකලා කම්පනයට පත් නොවෙන කෙනෙක් ඉන්නවනම් ඔහු මනුෂ්‍යයෙක් වෙන්න බැහැ. අද මේ රටේ 78වෙනි නිදහස සමරණවා. හැබැයි ඒ නිදහසට අයිතියක් නැති ජන පිරිසක් අවුරුදු 200ක් තිස්සේ මේ රටේ ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ මරණ සහතිකය පවා වලංඟු වෙන්නේ වතු අධිකාරිය අත්සන් කළොත් විතරයි. මේ මලෛයහ තමිල් ජනතාව තමයි අවුරුදු 200ක් තේ දලු කඩලා මේ රටේ ආර්ථිකය ගොඩ දැම්මේ. අතේ කරගැට එනකල්, ලේ කඳුළු දහදිය වගුරවගෙන තේ දලු කඩපු ඒ ජනතාවට අදටත් තමන්ගේ කියලා ඉඩමක්, නිවසක් නැහැ. මේ රටේ අනිත් මිනිස්සුන්ට හිමි අධ්‍යාපනයේ සමාන අවස්ථාව සෞඛ්‍යයේ සමාන අයිතිය ලැබෙන්නේ නැහැ.

මහජන බලයක් ගොඩනැගිය යුතු යි

එදා ඉඳලා පාලකයෝ කලේ ඡන්දය ගන්න ඔබව පාවිච්චි කරපු එක විතරයි. ඡන්දෙන් පස්සෙ ඒ කවුරුවත් වතුකරය දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ. ඒක නිසාම මේ රට ඇතුළේ ඔබ හැමදාමත් ජීවත් වෙන්නේ පීඩාවෙන්. ඉගෙන ගන්න ගියත්, ලෙඩකට බෙහෙත් ගන්න ගියත්, රජයේ ආයතනයකට වැඩක් කරගන්න ගියත් මලෛයහ තමිල් ජනතාව හැමවෙලාවෙම විශේෂ වෙනස්කමකට භාජනය කරලා තමයි මේ රටේ පාලනය කටයුතු කරන්නේ. දැන් අවුරුදු 200ක් තිස්සේ අපි මේ පීඩාව වින්දා ඇති. අපි හිතනවා මේ රටේ අනෙක් සියලු පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකම් සියල්ල ඔබටත් ලැබෙන්න ඕන. ඒ අයිතිය අපිට නිකම් බන්දේසියක තියලා පාලකයෝ පිළිගන්වන්නේ නැහැ. ඒ අයිතිය දිනාගැනීම කරන්න පුළුවන් අරගලයකින් විතරයි. සටනකින් විතරයි. නමුත් ඒ සටන මලහෛ තමිල් ජනතාවට තනිව කරන්න පුළුවන් කමක් නැහැ. මලෛයහ තමිල් ජනතාවගේ ඉඩම්, නිවාස, මාසික වැටුප, ඇතුළු අයිතීන් දිනාගැනීමේ අරගලය සඳහා මේ රටේ සිංහල දමිළ මුස්ලිම් සියළු ජනතාවත් සටන් කරන සියලු බලවේගත් ඒකරාශි කරගත් මහජන බලයක් අපි ගොඩනගන්න ඕන. ඒ සඳහා එකතුවෙන්න කියලා මේ ඓතිහාසික සමුළුව දවසේ අපි මේ රටේ සියලු ජනතාවට ආරාධනා කරනවා."

සටහන - ජයසිරි අලවත්ත

 

mmm

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න