ගෝඨාභය උත්සාහ කරන්නේ අධිකරණය මගහරින්න යි - ඉන්ද්‍රානන්ද ද සිල්වා

ගෝඨාභය උත්සාහ කරන්නේ අධිකරණය මගහරින්න යි - ඉන්ද්‍රානන්ද ද සිල්වා

ජීවිත තර්ජන හේතුවෙන් අධිකරණයට පැමිණීමට නොහැකි යැයි පවසමින් ගෝඨාභය රාජපක්ෂ කරන්නේ  සම්පූර්ණ බොරුවක් බවත්, ඔහු මේ උත්සහ කරන්නේ අධිකරණය මගහැරීමට බවත්, ඒසේ කරන්නේ ලලිත් සහ කුහන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සඳහා ඔහු පැහැදිලිවම සම්බන්ධ බැවින් යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යමකාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා පැවසී ය.

ඔහු මෙසේ පැවසුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධාන කටයුතුවල නිරතව සිටිය දී රාජපක්ෂ ආණ්ඩු සමයේ දී ලලිත් - කුහන් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරදන් කිරීමට එරෙහිව ගොනු කළ  හබයාස් කොපුස් පෙත්සමට අදාළ මහේස්ත්‍රාත් විමර්ශනය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ දි අද ( ( 06 ) දින විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඉන්ද්‍රානන්ද ද සිල්වා... 

ගෝඨාභය අධිකරණයට එන්න බයයි

"2011 අවුරුද්දෙදි යාපනය අධි ආරක්ෂිත කලාපයේ දී තමයි අපේ පක්ෂයේ ලලිත් කුමාර් වීරරාජ සහ කූහන් මුරුගානන්දන් සහෝදරවරුන්ව පැහැරගෙන අතුරදන් කළේ. මේ පැහැරගැනීමට ඍජුවම ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයි. ඒකට අදාළව සාක්ෂි රැසක් අපි අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් දැන් ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගට ම අධිකරණය මගහරිමින් ඉන්නවා. ඔහු බයයි උසාවියට ඇවිල්ලා සාක්ෂි දෙන්න. ඒ නිසා ආරක්ෂාව ගැන බොරු කිය කිය දිගට ම යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට එන එක ඔහු ප්‍රතික්ෂේප කළා. පසුගිය නඩු වාරයේ දී යාපනය මහේස්ත්‍රාත්වරයා ගෝඨාභය රාජපක්ෂට අධිකරණයට එන්න නොහැකි වීමට පිළිගත හැකි හේතු දක්වන්න කියලා නියෝග කරලා තිබුණා. අද නඩුව කැඳෙව්වේ ඒ සම්බන්ධයෙන්. ඔවුන් අද ලිඛිතව යම් කරුණු ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව ඊට අදාළව අපේ අදහස් දක්වන්න අධිකරණය  ලබන මාර්තු 6 වෙනිදට දින ලබා දුන්නා.

මේ අතුරදන් කිරීමට ගෝඨාභය ඍජුව ම සම්බන්ධයි

අපි දකිනවා පහුගිය කාලෙ ම ගෝඨාභය රාජපක්ෂ කිසිම ප්‍රශ්නයක් නැතුව කොළඹ පුරා ඇවිදිනවා. මහින්ද රාජපක්ෂ යන හැමතැනට ම වගේ ගෝඨාභයත් යනවා. එහෙම ඇවිදිනකොට නැති ආරක්ෂක ප්‍රශ්නයක් යාපනය උසාවියට එනකොට විතරක් මතුවෙන්නේ කොහොමද ? අනිත් එක තමයි කොළඹ ප්‍රදේශයේ තමයි වැඩිම පාතාල ක්‍රියා සිදු වෙන්නේ. මේ යාපනේ කවුරුවත් තුවක්කු අරගෙන ඇවිදින්නෙ නැහැ. ඒ නිසා පැහැදිලිවම ගෝඨාභය රාජපක්ෂ ජීවිත තර්ජන නිසා උසාවි එන්න බැහැ කියනවනං ඒක සම්පූර්ණ බොරුවක්. ඔහු මේ උත්සහ කරන්නේ අධිකරණය මගහරින්න. මොකද මේ අතුරදන් කිරීමට ඔහු පැහැදිලවම සම්බන්ධයි.

රාජපක්ෂ කල්ලියට දඬුවම් දිය යුතුයි

අපි දන්නවා රාජපක්ෂලා කරපු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලින් ලලිත් - කුහන් අතුරදන් කිරීම කියන්නේ එකක් විතරයි. මාධ්‍යවේදීන්, දේශපානලන ක්‍රියාධරයින් ඇතුළු උතුරේ දකුණේ දහස් ගණන් ඝාතනවලට අතුරදන් කිරීම්වලට රාජපක්ෂලා වග කියන්න ඕන. හැබැයි ඒවට ආදාළව අධිකරණයක දැනට විභාග වෙන එකම නඩුව මේක. ඒ නිසා අපි සූදානම් නෑ මේ නඩුව මෙතනින් හකුළගන්න. මේ ඝාතනවලට අතුරදන් කිරීම්වලට යුක්තිය ඉටු වීම අවශ්‍යයි. ගෝඨාභය ඇතුළු රාජපක්ෂ කල්ලියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඇතුළේ විතරයි අපිට ඒ යුක්තිය දිනාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාරග ගන්නවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන යුක්තිය සාධාරණත්වය ගැන කතාකරන සියලු දෙනාටත් අපි ආරාධනා කරනවා මේ සටන වටා එකතුවෙන්න කියලා."

සටහන - ජයසිරි අලවත්ත

 

indra2

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න