JVP 3% සිට ජයග්‍රහණය දක්වා: ශ්‍රී ලංකා දේශපාලනයේ විශාලතම පෙරළිය - සුදත් චන්ද්‍රසේකර

JVP 3% සිට ජයග්‍රහණය දක්වා: ශ්‍රී ලංකා දේශපාලනයේ විශාලතම පෙරළිය - සුදත් චන්ද්‍රසේකර

අවුරුදු දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකා දේශපාලනය, පාලනය කළ සම්ප්‍රදායික පක්ෂවල බලය අඛණ්ඩව පවත්වා ගෙන ආ විට, ජනතාව ගේ මනස තුළ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු  නො සතුට 2019–2024 කාලය තුළ විශාල දේශපාලන හැරවීමකට මග පෙන්වී ය. 2019 ජනාධිපතිවරණයේ දී 3% පමණ වූ ඡන්ද පදනමකින් ක්‍රියා කළ JVP නායකත්වය දරන මාලිමා සන්ධානය, කෙටි කාලයක දී රටේ දේශපාලන සිතියම මුළුමනින් ම වෙනස් කළ ආකාරය මෙහි විග්‍රහ කෙරේ.

සුදත් චන්ද්‍රසේකර ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ අවුරුදු 40කට වැඩි පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ පරිපාලන හා සන්නිවේදන විශේෂඥයෙකි. ඔහු කැබිනට් අමාත්‍ය, විපක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය පුද්ගලික ලේකම් සහ උපදේශක ලෙස සේවය කළ අතර, එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේ, සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කළේ ය.

පසුගිය වසරවල දී සම්ප්‍රදායික පක්ෂවල දිගු කාලීන සාමාජිකයින් අතර දැඩි අසතුටක් මතු වී තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ දිගු කාලීන සාමාජිකයකු මට පැවසූ වචන මේ වෙනසට හොඳ උදාහරණයකි: “UNP කියන්නේ අපේ ජීවිතවල කොටසක්. ‘සිරිකොත’ අපේ මහගෙදර. ඒත් අද අපි ම අපෙන් අහනවා, අපේ පක්ෂයට මොකක්ද සිදුවුණේ? කියලා” මේ ප්‍රශ්නය UNP පමණක් නොව, පසුගිය මැතිවරණවල පරාජය අත්විඳින සියලු ම සම්ප්‍රදායික පක්ෂවල සාමාජිකයින් ගේ හදවතේ පවතින ගැටලුවකි. සරල පිළිතුරක් නොමැති නමුත්, මෙය සමාජ–දේශපාලන හැරවීමක් බව පැහැදිලිව පෙනේ.

බොරුවෙන් හෝ බලය ලබා ගැනීමට තිබූ හැකියාව

ශ්‍රී ලාංකික ඡන්දදායකයා බොහෝ විට ප්‍රතිපත්ති–මූලික දේශපාලනයට වඩා පොරොන්දු–මූලික දේශපාලනය විශ්වාස කරයි. දියුණු රටවල පක්ෂ මැතිවරණ ප්‍රකාශ ජාතික ප්‍රතිපත්ති මත ගොඩනැගී ඇති අතර, ශ්‍රී ලංකාවේ බොහෝ පක්ෂවල මැතිවරණ ප්‍රකාශ බොරු පොරොන්දුවලින් පිරී ඇත. එහෙත්  එය ලංකාවේ දේශපාලන සම්ප්‍රදායක් වී ඇත්තේ බොරුවෙන් හෝ බලය ලබා ගැනීමට තිබූ හැකියාව නිසායි.

මෙවන් පසුබිමක දී JVP, 2019 වන විට 3% පමණ වූ ඡන්ද පදනමක් ඇති කුඩා පක්ෂයක් ලෙස සැලකුණ ද,  2019–2024 අතර කෙටි කාලයක දී සිදු වූ දේශපාලන හැරවීම ඔවුන්ට අලුත් මාවතක් විවෘත කළේ ය. අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ JVP නායකත්වය දරන මාලිමා සන්ධානය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන සිතියම උඩු යටිකුරු කළේ ය. මෙය හදිසි සිදුවීමක් නොව, සූක්ෂ්ම සංවිධානයක්, පැහැදිලි පණිවිඩයක්, සහ ජනතාව ගේ විශ්වාසය දිනා ගැනීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය.

කඵ පැල්ලම් සහිත අඳුරු අතීතය

JVP පළමුවෙන්ම සම්ප්‍රදායික පක්ෂවලට තිබූ ජනතා විශ්වාසය බිඳ දැමීමට සාර්ථක විය. අසාර්ථක ආර්ථික කළමනාකරණය, දූෂණ චෝදනා, පවුල් පාලනය, සහ අස්ථාවර ප්‍රතිපත්ති යනාදි කරුණු සමාජගත කිරීම මගින් ජනතාව තුළ පැරණි පක්ෂ පිළිබඳ ගැඹුරු අවිශ්වාසයක් ගොඩනැගී ය. එම අවිශ්වාසය මත JVP තමන් “පිරිසිදු විකල්පය” ලෙස පිහිටුවා ගැනීමට සමත් විය. දූෂණ විරෝධී පාලනයක්, පැහැදිලි ආර්ථික පණිවිඩයක්, සහ විනිවිද පාලන ආකෘතියක් යටතේ යහපත් රටක් ගොඩනැගිය හැකි බව ඔවුන් සාර්ථකව ජන ගත කළහ.

JVP ප්‍රචාරණය නවීකරණය කළ ආකාරය මෙම ජයග්‍රහණයේ වැදගත් කොටසකි. ග්‍රාමීය මට්ටමේ ශක්තිමත් සංවිධාන ජාලයක්, digital ප්‍රචාරණයේ නවීන ක්‍රම, තරුණයින්ට සහ කාන්තාවන්ට සෘජු පණිවිඩ, සහ සරල, පැහැදිලි සන්නිවේදනය ඔවුන් ගේ පණිවිඩය සමාජයේ සියලු ජන කොටස් වෙත ගෙන යෑමට ඉතා ප්‍රබලව උපකාරී විය. ඔවුන් ගේ සන්නිවේදන දක්ෂතාව ජනතාව ගේ සිත්වල ඉතා තදින් මුල් බැස තිබුණ ජනතා විමුක්ති පෙරමුණේ කඵ පැල්ලම් සහිත අඳුරු අතීතය,  පවා අමතක කරන්නට ජනතාවට සිදු විය.

ජයග්‍රහණයේ වැදගත් ම සාධකය

අනුර කුමාර දිසානායක ගේ නායකත්වය JVP උඩුගත වීමේ ප්‍රධාන සාධකයකි. ඔහු පළමු වරට ඡන්දය දෙන තරුණ පරපුර, පරණ පාලකයින් ගෙන් කලකිරී සිටි ජනතාව, පෙර JVP ඡන්දය නො දුන් පිරිස, සහ සම්ප්‍රදායික පක්ෂවල කලකිරී සිටි සාමාජිකයින් එක මැදහත් පදනමකට එකතු කිරීමට සමත් විය. JVP තම පක්ෂය තුළ ගොඩනැගු විනය, ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු පක්ෂයක නො පෙනෙන ලක්ෂණයකි. අති මහත් බලයක් තිබූ දැඩි නායකයකු වූ ජේ. ආර්. ජයවර්ධන පවා පක්ෂ විනය පවත්වා ගැනීමේ අභියෝගයට මුහුණ දුන් බව සැලකූ විට, JVP  විනය මෙම ජයග්‍රහණයේ වැදගත් සාධකයක් බව පැහැදිලි වේ.

මෙය සම්ප්‍රදායික පක්ෂවලින් JVP වෙත සිදු වූ සරල පක්ෂ මාරුවක් නොවේ. ජනතාවට අවශ්‍ය වූයේ මාලිමාව දිනවීමට නොව, පැරණි සම්ප්‍රදායක පක්ෂවල වැරදිවලට එරෙහිව නැගී සිටීමටයි. මෙය ජනතාව ගේ මනස, විශ්වාසය, සහ දේශපාලන සංවේදනයේ ගැඹුරු වෙනසකි. ජනතාවට අවශ්‍ය වූයේ නව නායකත්වයක්, දූෂණ රහිත පාලනයක්, පවුල් දේශපාලනයෙන් මිදීමක්, සහ අනාගතයක් ගැන විශ්වාසයක්. JVP එම අශ්‍යතාවයට සෘජු පිළිතුරක් දුන්නේ ය.

අනාගත දේශපාලනය විවෘත කාට ද...?

එයට ප්‍රතිවිරුද්ධ ලෙස, සම්ප්‍රදායික පක්ෂ ජනතාව ගේ කෝපය, පවුල් දේශපාලනයට ඇති විරුද්ධත්වය, සහ නව නායකත්ව අවශ්‍යතාව නො සලකා, අතීත ජයග්‍රහණවල ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් එහි ඇලී සිටියෝ ය. ඔවුන් කතා කළේ පක්ෂ ඉතිහාසය, පරණ නායකයින්, සහ අතීත ජයග්‍රහණ සහ අතීත ක්‍රියාකාරකම් ගැනයි. නමුත් ජනතාවට අවශ්‍ය වූයේ අතීත කතා නොව, තම ගැට‍ලුවලට විසඳුමයි.

2019–2024 දේශපාලන හැරවීම මාලිමා බඳු අවම ඡන්ද පදනමක් තිබූ පක්ෂයක ජයග්‍රහණයක් පමණක් නොව, එය ජනතාවගේ මනස, විශ්වාසය, සහ දේශපාලන සංවේදනයේ ගැඹුරු වෙනසක් ඇති කළා. අනාගතයේ සියලු පක්ෂ සඳහා මෙය පැහැදිලි පාඩමකි: ජනතාව ගේ හදවත් කියවීමට නො හැකි, ජනතා හඬට සවන් නො දෙන පක්ෂවලට බලය ලබා ගැනීමට නො හැකි බව ජනතාව පෙන්වා දුන්නා.

රට ගැන සිතන, විනිවිද පාලනයක් ගොඩනගන, ජනතාවගේ විශ්වාසය දිනා ගන්නා පක්ෂවලට අනාගත දේශපාලන මාවත විවෘත ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න