ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ලෙස සේවය කළ, වැඩ තහනමට ලක් ව සිටින නීතීඥ චමින්ද කුලරත්න 2026 පෙබරවාරි මස 18 වන දින ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම මඟින් මූලිකව ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ඔහු ගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ සහ කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයෙන් පත්කරන ලදැයි කියන විමර්ශන නිලධාරී විශ්‍රාමික අතිරේක ලේකම් එස්.කේ. ලියනගේ ඇතුළු 14 දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.
සම්මුඛ පරීක්ෂණයෙන් වැඩි ම ලකුණු
නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න: බඳවා ගැනීම, පත්වීම යන සියල්ල නීත්‍යානුකූලව සහ විනිදභාවයෙන් යුතුව සිදුවී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු විරෝධතාවයක් මේ වන තෙක් ඉදිරිපත් වී නොමැති බවත්, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් තනතුරට අයඳුම් පත් කැඳවන ලද ගැසට් නිවේදනයට අනුව ඊට අවශ්‍ය අධ්‍යාපන හා වෘත්තීය සියලු සුදුසුකම් කුලරත්න විසින් සම්පූර්ණ කරනු ලැබ ඇති බවත්, ඊට අදාළ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වූ අය අතරින් වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ද කුලරත්න බවත් මෙකී පෙත්සම මගින් වැඩිදුරටත් කරුණු දක්වා ඇත.
නෛතික හිමිකම සහ අයිතිවාසිකම
තවද, විශ්‍රාම වැටුප් සංග්‍රහය, ආයතන සංග්‍රහය, අමාත්‍ය මණ්ඩල තීරණ, 1953 අංක 9 දරන පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල පනත සහ 1942 අංක 18 දරන රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල් ආඥා පනත යන ව්‍යවස්ථාපිත විධිවිධාන අනුව චමින්ද කුලරත්න හට ඔහු පූර්වයෙන් දරන ලද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ලේකම් තනතුරෙහි සේවා කාලය, ඔහු පසුව පත්කරන ලද කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් තනතුරේ සේවා කාලය සමග විශ්‍රාම වැටුප් ගණනය කර ගැනීම සඳහා එක්කර ගැනීමට ඔහුට නෛතික හිමිකමක් හා අයිතිවාසිකමක් ඇති බවත් මෙමගින් දක්වා ඇත.
පෞද්ගලික භෝජනාගාරයේ දී දුටු සිද්ධිය...?
නියෝජ්‍ය මහ ලේකම්වරයා 2025 ජුනි මස 18 දින කථානායකවරයා ගේ පෞද්ගලික භෝජනාගාරයේ දී දුටු සිද්ධියක් හේතුවෙන් සහ කථානායකවරයා විසින් සිදුකරනු ලබන්නේ යැයි කියන නීතිවිරෝධී හා දූෂණ ක්‍රියා පිළිබඳව නියෝජ්‍ය මහ ලේකම්වරයා, තම අප්‍රසාදය පළ කිරීම හේතුවෙන් කථානායකවරයා විසින් නීතිවිරෝධී හා ද්වේශ සහගත ලෙස කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ඒ සඳහා සුදුසුකම් නොමැති විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු වූ එස්.කේ. ලියනගේ යන අය පත් කරන ලද බව මෙම පෙත්සම මගින් දක්වා ඇත. කථානායකතුමා ගේ සංවේදී තොරතුරු බාහිර පාර්ශ්ව අතට පත්වීම සම්බන්ධයෙන් කථානායකවරයා ගේම දැනුම්දීම මත පාර්ලිමේන්තුවේ මහ ලේකම් විමර්ශනයක් සිදුකර වාර්තාවක් සකස් කර ඇති බවත්, එම වාර්තාව ගරු අධිකරණය වෙත කැඳවන ලෙසත් නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ කුමක් ද...?
කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයට තමාට නැති බලයක් ආරෝපණය කර ගෙන, එනම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා ගේ බලය කථානායකවරයා විසින් ක්‍රියාත්මක කරමින් විමර්ශන නිලධාරී එස්.කේ. ලියනගේ ගේ පත්වීම සිදුකර ඇති බවත්, එස්.කේ. ලියනගේ විසින් සාවද්‍ය සහ ද්වේශ සහගත කරුණු මත පදනම් වූ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත්, එකී වාර්තාව ස්වාභාවික යුක්තියේ හා නීතියේ මූලධර්මවලට පටහැනිව සකස් කර ඇති බවත්, එකී වාර්තාව මත පදනම්ව නියෝජ්‍ය මහ ලේකම්වරයා ගේ වැඩ තහනම සිදුකර ඇති බවත්, එබැවින් එකී සාවද්‍ය හා නීතිවිරෝධී වාර්තාව මත පදනම්ව සිදුකරනු ලබන සියලු කටයුතු බල රහිත කරන මෙන් මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත.
ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන ඇතුළු නීතීඥ මණ්ඩලයක් නියෝජ්‍ය මහ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටීමට නියමිත ය.
කතානායකට එරෙහි දූෂණ චෝදනා අටක්...?
චමින්ද කුලරත්න, මීට පෙර වර්තමාන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිදුකර ඇතැයි කියන නීතිවිරෝධී දූෂණ ක්‍රියා අටක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. බලයේ සිටින කථානායකවරයකුට විරුද්ධව පාර්ලිමේන්තුවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා වශයෙන් කටයුතු කළ නියෝජ්‍ය මහ ලේකම්වරයකු විසින් මෙවැනි පැමිණිල්ලක් සිදුකර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවට වන අතර, එමෙන්ම, කථානායකවරයකු ගේ නීතිවිරෝධී හා ද්වේශ සහගත ක්‍රියාකාලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු විසින් ඉහල අධිකරණයක් හමුවේ පෙත්සමක් ගොනු කර ඇත්තේ ද ඉතිහාසයේ ප්‍රථම වතාවට ය.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ලෙස සේවය කළ, වැඩ තහනමට ලක් ව සිටින නීතීඥ චමින්ද කුලරත්න ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති CA (Writ) 109/2026 අංක දරන පිටු 44කින් යුත් රිට් පෙත්සම යි.

