රටෙහි ජනතාව අතුරෙන් 65%ක් වත්මන් ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තබා ඇතැයි යනුවෙන් වෙරිටේ රිසර්ච් ආයතනය කළ සමීක්ෂණයකින් හෙළි වී ඇති බව එම ආයතනය ප්‍රකාශ කර තිබිණි; එය ප්‍රසිද්ධ මාධ්‍ය වෙත ලබා දී ප්‍රසිද්ධියට ද පත් කර තිබිණි.
එබඳු තත්ත්වයක් තුළ අදාළ සමික්ෂණය කළේ කෙසේ ද, එහි ක්‍රමවේදය කුමනාකාර ද යන්න පිළිබඳව විමසා ශ්‍රී ලංකා සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදෙශ් වෙරිටේ රිසර්ච් ආයතනයේ බලධාරින් වෙත ලිපියක් යොමු කර ඇත.
එම ලිපියෙන් රවි කුමුදේශ් ඉල්ලා සිටින්නේ එම ජනමත සමීක්ෂණයේ ක්‍රමවේදය (methodology) සහ විද්‍යාත්මක පදනම මහජනතාවට පැහැදිලි කරන ලෙස යි.
මතු පළ වන්නේ ශ්‍රී ලංකා සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදෙශ් වෙරිටේ රිසර්ච් ආයතනයේ බලධාරින් වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය යි.
දිනය: 2026 පෙබරවාරි 19
අධ්‍යක්ෂතුමා/අධ්‍යක්ෂතුමිය
වෙරිටේ රිසර්ච් ආයතනය,
කොළඹ, ශ්‍රී ලංකාව.
ජනමත සමීක්ෂණය පිළිබඳ ක්‍රමවේදය සහ විද්‍යාත්මක පැහැදිලි කිරීම් ඉල්ලා සිටීම
ගරු මහත්මයාණෙනි / මහත්මියණෙනි,
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය, රාජ්‍ය පාලනය සහ මහජන විශ්වාසය පිළිබඳ සාධනීය හා විද්‍යාත්මක සංවාද වර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියා කරන ශ්‍රී ලංකා සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමය (Academy of Health Professionals Sri Lanka) වෙනුවෙන් මෙම ලිපිය ගෞරවයෙන් ඉදිරිපත් කරමි.
ඔබ ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ජනමත සමීක්ෂණ ශ්‍රී ලංකාවේ මහජන මතය සහ දේශපාලන සංවාදය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරන බැවින්, ඒවායේ ක්‍රමවේදය (methodology) සහ විද්‍යාත්මක පදනම මහජනතාවට පැහැදිලිව සන්නිවේදනය වීම අත්‍යවශ්‍ය බව අපගේ අවධානයට ලැබී ඇත.
ඒ අනුව පහත කරුණු පිළිබඳ නිල පැහැදිලි කිරීම ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු:
1. සමීක්ෂණයේ නියෝජන ව්‍යුහය (sample frame), දිස්ත්‍රික් මට්ටමේ සහ නගර/ගම් ප්‍රතිනිධිතාවය
2. sample ප්‍රමාණය හා ගණිතමය දෝෂ සීමාව (margin of error)
3. භාවිතා කළ ප්‍රශ්නවල නිවැරදි වචන සැලසුම (question wording)
4. දත්ත රැස්කළ කාල සීමාව සහ එයට අදාළ සමාජ-ආර්ථික පසුබිම
5. “approval” ප්‍රතිචාර දිගුකාලීන රාජ්‍ය පාලන ගුණාත්මකභාවය මැනීමට භාවිතා කිරීමේ සීමාවන්
6. පර්යේෂණය විමසුමට (scholarly review) යොදා ගත හැකි අයුරින් anonymised data ලබාදීමේ හැකියාව
මෙම ඉල්ලීමේ අරමුණ ඔබගේ පර්යේෂණ අගය අඩු කිරීම නොව, මහජන විශ්වාසය ශක්තිමත් කිරීම සහ evidence-based public dialogue එකක් ගොඩනැගීම බව අවධාරණය කරමි.
ජනමත සමීක්ෂණ ප්‍රතිඵල මහජන මත ගොඩනැගීම සඳහා ප්‍රබල ලෙස භාවිතා වන බැවින්, ඒවායේ සීමාවන් (limitations) ද පැහැදිලිව ඉදිරිපත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයට වටිනා දායකත්වයක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.
ඔබගේ කාරුණික ප්‍රතිචාරය අපේක්ෂා කරමි.
ස්තූතියි...!
රවි කුමුදේශ් - සභාපති, ශ්‍රී ලංකා සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ විද්වත් සංගමය

