ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමත් සමග අවශ්‍ය විදුලි ධාරිතාව ලබාගැනීමට විශාල ගල් අඟුරු තොගයක් දහනය කිරීමට සිදුවී තිබෙනබැවින් රජයට විශාල පාඩුවක් සිදුවන්නේ යැයි සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික සංජීව ධම්මික පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (19) සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ සංජීව ධම්මික...
ආනයනය කර ඇති ගල්අඟුරු ප්‍රමිතියෙන් තොරයි
"ගල් අඟුරු පිළිබඳ ප්‍රශ්නය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආංශික කාරක සභාවේදී මතු කළා. එහිදී ගල් අඟුරු සමාගමේ නිලධාරීන්ට පක්ෂ නායකතුමා ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට හැකියාවක් ලැබුණේ නැහැ. ලංකාවට ගල් අඟුරු ගෙන්වීමේ කටයුතු සිදු කරන්නේ ලංකා ගල් අඟුරු සමාගම යි. ලක්විජය බලාගාරයටයි ගල් අඟුරු අවශ්‍ය වෙන්නේ. ලක්විජය බලාගාරයට මෙගාවෝට 300 බැගින් බලාගාර තුනක් තිබෙනවා. ලංකාවේ විදුලි සැපයුමෙන් සියයට තිහක් හතළිහත් අතර ප්‍රමාණයක් ලබාදෙන්නේ ලක්විජය බලාගාරයයි. ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු ටොන් මිලියන දෙකයි දශම දෙකක් සහ දෙකයි දශම පහක අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ආනයනය කරන ලද ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර වූ පසු විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය වැඩිවෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීමත් සමඟ අවශ්‍ය විදුලි ධාරිතාව ලබාගැනීමට විශාල ගල් අඟුරු තොගයක් දහනය කිරීමට සිදුවී තිබෙනවා. ඒ හරහා රජයට විශාල පාඩුවක් සිදුවෙනවා. ගල් අඟුරුවල දහනයේ ප්‍රමාණයක් තිබෙනවා. ගල් අඟුරුවල දහනය සඳහා අවශ්‍ය කැරි ප්‍රමාණය නොතිබීම නිසා ගල් අඟුරු දහනයේදී විශාල පාඩුවක් සිදුවෙනවා.
විශාල පරිසර හානියක්
ගල් අඟුරු දහනයේ දී නිකුත්වන අළු ප්‍රතිශතය සියයට දාසයට වඩා පහළින් තිබිය යුතුයි . නමුත් මෙවර ආනයනය කළ ගල් අඟුරු දහනයේ දී නිකුත්වන අළුවල ප්‍රතිශතය සියයට විසි එකේ සිට සියයට 25 දක්වා වැඩි වී තිබෙනවා. ඒ හරහා විශාල පරිසර හානියක් සිදුවෙනවා. එම අළුවල සල්ෆර් ප්‍රමාණය බින්දුවයි දශම අටක් තිබිය යුතු යි. නමුත් මෙම ගල් අඟුරුවල සියයට එකකට වැඩිය සල්ෆර් ප්‍රතිශතය තිබෙනවා. ඒ නිසා මේ හරහා සිදුවන පරිසර බලපෑම අධිකයි. කෙසේ නමුත් මෙම ගල් අඟුරුවල කැලරි ප්‍රමාණය අඩු වන නිසා විදුලි ඒකකයක් සඳහා වන වියදම වැඩිවෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු දහනය කිරීමෙන් ලක්විජය බලාගාරයේ යන්ත්‍ර සූත්‍රවලට විශාල හානියක් සිදුවෙනවා. මෙම බලාගාරයේ බොයිලර්වලට හානි සිදුවුනොත් මාස හයක් බලාගාරය වැසීමට සිදුවෙනවා. ලක්විජය බලාගාරයේ බලාගාර තුනම අක්‍රිය වුවහොත් දෛනිකව රුපියල් මිලියන 130ක පාඩුවක් දැරීමට සිදුවෙනවා.
බලාගාරය අවට ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක්
ගල් අඟුරු භාවිතයෙන් තොරව ඩීසල් බලාගාරවලින් විදුලිය ජනනය කරන්න සිදුවුණහොත් අමතර වියදමක් දැරීමට සිදුවෙනවා. එසේ සිදුවුණොත් දෛනික පාඩුව රුපියල් මිලියන 50ත් 70ත් අතර ප්‍රමාණයක් වෙනවා. ඒ අනුව වාර්ෂිකව බිලියන ගණනක පාඩුවක් මේ හරහා සිදුවීමට පුළුවන්. ලක්විජය බලාගාරය අවට ජීවත් වන ජනතාවට මේ වන විට පරිසරික ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. ඒ නිසා එම ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවධානමක් අවධානමක්ද මතුවී තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම නිසා සිදුවන පාඩුව ක්‍රම තුනකට ගණනය කළ යුතුයි. විදුලි ඒකකයක් නිෂ්පාදනයට අධික වියදමක් දැරීමට සිදුවෙනවා. ඒ වගේම විශාල පාරිසරික හානියක් සිදුවෙනවා. ඒ වගේම බලාගාරේ යන්ත්‍ර සූත්‍රවලට විශාල හානියක් සිදුවෙනවා. මේ සිදුවන හානීන් ගණනය කිරීමක් සිදුකළ යුතුයි. නමුත් මේවා යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහනක් ආණ්ඩුව තුළ දක්නට ලැබෙන්නේ නැහැ. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් විදුලි බිලේ ඉහළ නැගීම නවත්වන්න නොහැකියි. කෙසේ නමුත් ඒ විදුලිබිලේ බර පැමිණෙන්නේ විදුලි පාරිභෝගිකයාටයි. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම නිසා එහි පාඩුව අවසානයේ දරන්න සිදුවන්නේ රටේ මහජනතාවටයි. මෙම ප්‍රශ්නය රටේ සෘජු ආර්ථික ගැටලුවක් බවට පත්වෙනවා. විදුලි බලය යනු ජනතා අයිතියක්. මේ ජාතික සම්පත සුරකින්න සියලු දෙනා වගකීමකින් යුතුව කටයුතු කළ යුතුයි.
විගණකාධිපතිවරයා ගේ මතය ද බැහැර කරලා
විදුලි බිල ඉහළ යන්නේ ජනතාව ගේ වරදින් නොව. ගල් අඟුරු ගෙන්වීමේ දී ආණ්ඩුව සිදු කළ ටෙන්ඩර් මගඩි හේතුවෙන්. ඒ වගේම ගල් අඟුරු ගෙන්වීමේ දී විගණකාධිපතිවරයා ගේ මතය බැහැර කර කටයුතු කිරීම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතුයි. ගල් අඟුරු ගෙන්වීමේ දී විගණකාධිපතිවරයා නිකුත් කළ නිර්දේශ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන්න බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කරලා නැහැ. එය බරපතළ වරදක්. කෙසේ නමුත් බලය ලබා ගැනීමට පෙර වර්තමානය ආණ්ඩුව ප්‍රකාශ කළේ විදුලි බිල සියයට තිස්තුනකින් අඩු කරන බවයි. නමුත් ආණ්ඩුව බලය ලබා ගත් පසු ක්‍රම ක්‍රමයෙන් විදුලි බිල වැඩි කිරීමට කටයුතු කරමින් සිටිනවා. ආණ්ඩුව විදුලි බිල අඩු කරන්නේ මැතිවරණයක් ආසන්නයේ දී පමණයි. කෙසේ නමුත් ජනතාවට බර පැටවෙන තීරණ ගැනීමට පෙර පාර දෘෂ්‍ය භාවය වගකීම සහ සාධාරණත්වය පිළිබඳව සලකා බැලීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ආනයනය කළ ගල් අඟුරුවල කැරලි ප්‍රමාණය අඩුවී තිබෙන බව ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවල පැහැදිලි වෙනවා. ගල් අඟුරු ආනයනය කළ නැව් දෙකක නිසි කැලරී ප්‍රමාණය නැතිනම් එම ගිවිසුම අත්හිටුවීමට හැකියාවක් තිබෙනවා. ලංකාවට ගෙන්නූ ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බව වර්තා දෙකක සඳහන් වෙනවා. නමුත් ආණ්ඩුව එම වාර්තා පිළිගැනීමට සූදානම් නැහැ. එසේ නම් ආණ්ඩුවට වෙනත් පාර්ශවයක් හරහා මෙම ගල් අඟුරුවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට හැකියාව තිබෙනවා.
එක් බලාගාරයකින් මෙගාවොට් තිහක් අහිමි වෙලා
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරුවල ගුණාත්මක භාවය හොඳ බව පැවසීමෙන් ලංකාවට ලැබෙන දඩ මුදල අවම වෙනවා. මෙම වාර්තා අනුව තමයි ලංකාවට ලැබෙන දඩ මුදල තීරණය වෙන්නේ. ලක්විජය බලාගාරයේ පළමු බලාගාරයෙන් මෙගාවොට් දෙසිය හැත්තෑවක් ජනනය විය යුතුයි. නමුත් පළවෙනි බලාගාරයෙන් ජනනය වී තිබෙන්නේ මෙගාවෝට 233 යි. ලක්විජය බලාගාරයේ දෙවෙනි බලාගාරයෙන් දෙසිය හැත්තෑ දෙකක මෙගාවෝට් ප්‍රමාණයක් ජනනය වී තිබෙනවා. ඒ වගේම තුන්වෙනි බලාගාරයෙන් මෙගාවෝට 241ක් ජනනය වී තිබෙනවා. කෙසේ නමුත් ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු භාවිතා කිරීම හේතුවෙන් එක් බලාගාරයකින් මෙගාවොට් තිහක පමණ ප්‍රමාණයක් අහිමිවී තිබෙනවා. ඒ අනුව පාරිභෝගිකයාට මෙම කරුණ සෘජුවම බලපානවා.
විදුලි බිල සියයට 1375ක වැඩිවීමක්
මේ සිද්ධිය නිසා විදුලි බිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ අනුව රජය මෙවර සියයට දහතුනයි දශම පහයි තුනක විදුලි බිල වැඩි කිරීමක් ඉල්ලා තිබෙනවා. නමුත් මෙවර විදුලි බිල වැඩි කිරීමේදී ගල් අඟුරු ප්‍රශ්නය බලපාන්නේ නැහැ. ගල් අඟුරුවල ප්‍රතිඵලය බලපාන්නේ ඊළඟ කාර්තුවේදී. අගෝස්තු මාසයේ විදුලි බිල වැඩිවීමට මෙම ගල් අඟුරු වංචාව බලපානවා. ආණ්ඩුව ශ්‍රී ලංකාවේ විදුලිබල ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා. විදුලි ඒකක පහළොවක් භාවිතා කරන පාරිභෝගිකයෙකු දැනට ගෙවිය යුත්තේ එකසිය 147යි සත පනහයි. නමුත් විදුලි බල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම හරහා 2174.04 බවට පත්වෙනවා. ඒ අනුව සියයට 1375 ක වැඩිවීමක් සිදුවෙනවා. ආණ්ඩුව ස්ථාවර ගාස්තුව විදුලි පාරිභෝගිකයන් අතර සම සේ බෙදන්න කටයුතු කරන නිසයි මේ ආකාරයට විදුලි බිල ඉහළ යන්නේ. ඒ වගේම විදුලි ඒකක පන්සියයක් භාවිතා කරන පාරිභෝගිකයෙක් දැනට ගෙවන්නේ 26120 මුදලක්. නමුත් නව ක්‍රමවේදය අනුව ඔහුගේ විදුලි බිල 10398 දක්වා අඩුවී තිබෙනවා. ඉහළ පාරිභෝගිකයාගේ විදුලි බිල සියයට හැටක් අඩුවෙනවා. ආණ්ඩුව අනුගමනය කරන්නේ සරදියෙල්ගේ රිවස් න්‍යාය.
විදුලිබිලේ සහනය ලබා දී තිබෙන්නේ ධනපති පංතියට
ගමේ ඉන්න දුප්පත් අහිංසක ජනයා විශාල මුදලක් විදුලි බිල වෙනුවෙන් ගෙවන විට ඉහළ පාරිභෝගිකයන්ට විදුලි බිල සඳහා සහනයක් ලැබී තිබෙනවා. ජනාධිපතිවරයා ඉහළ ධනපති පංතියේ විදුලි බිල අඩුකර තිබෙනවා. ජනාධිපතිවරයා සියයට හැට අටක විදුලි බිල අඩුකර තිබෙන්නේ අහිංසක දුප්පත් ජනතාවගේ නෙවෙයි. ඔහු විදුලිබිලේ සහනය ලබාදී තිබෙන්නේ ධනපති පංතියටයි. ආණ්ඩුවේ කාර්යභාරයන් පිළිබඳව ජනතාවට නැවත සිතන්න සිදුවී තිබෙනවා. ආණ්ඩුවට පුළුවන්නම් මේ ප්‍රතිපත්ති නීතියක් බවට පත්කරන්න. කෙසේ නමුත් මේ අසාධාරණ විදුලි බිල වැඩි කිරීම ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ආණ්ඩුවට ලැබෙන්නේ ජනතාවට බොරු පොරොන්දු දීමේ අවස්ථාවක් පමණයි. ජනපීඩක ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ තුළ ජනතාවත් ආර්ථිකයත් විශාල කඩා වැටීමකට ලක් වෙමින් තිබෙනවා."

