පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව, වත්මන් ආණ්ඩුව පලවා හරින ලෙස ඉල්ලා පොල් ගසා දේව කන්නලව් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුවේ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ පැවසීය.
මෙම විරෝධතා වැඩසටහන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආරම්භ කරන බව කී හිටපු මන්ත්‍රීවරයා, ඒ සඳහා විශ්‍රාමික මන්ත්‍රීවරුන් බහුතරයක් සිය කැමැත්ත පළ කර ඇති බව ද ප්‍රකාශ කළේය.
අදාළ පනත් කෙටුම්පත සම්මත කළ අවස්ථාවේදී විපක්ෂයෙන් ඉදිරිපත් කෙරුණු සංශෝධන පවා නොසලකා කටයුතු කිරීම පිළිබඳව තමන් දැඩි විරෝධය පළ කරන බව ද සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන ලද මරු පහරක් බව ප්‍රේමසිරි මානගේ අවධාරණය කළේය.
විශ්‍රාම වැටුප කපා හැරීමට රජය තීරණය කළ අවස්ථාවේදී, ඒ වෙනුවෙන් පෙනී සිටි පක්ෂ නායකයන්ට, සමාජ ක්‍රියාකාරිකයන්ට මෙන්ම එම මතය ජනතාව අතරට ගෙන ගිය මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට ද හිටපු මන්ත්‍රීවරයා මෙහිදී සිය ස්තුතිය පුද කර සිටියේය.
(lankalokaya | අසේල පෙරේරා)

