ජනපති අනුර සහ අගමැති හරිනි උතුරට ගොස් වෛරය වපුරන්න හදනවා - නිරෝෂන් පාදුක්ක

ජනපති අනුර සහ අගමැති හරිනි උතුරට ගොස් වෛරය වපුරන්න හදනවා - නිරෝෂන් පාදුක්ක

ජනාධිපතිවරයා සහ අගමැතිවරිය උතුරට ගොස් වෛරය වැපිරීමට උත්සාහ කරන බවත්, රටේ රාජ්‍ය නායකයා සහ අගමැතිවරිය උතුරට ගොස් ඒබඳු දේවල් කිරීම සුදුසු නොමැති බව දුෂණ විරෝධි බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක පැවසී ය.

ඔහු මෙම අදහස් පල කළේ අද (20) මගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නිරෝෂන් පාදුක්ක...

වෛරය වපුරුවන දේශපාලන න්‍යාය පත්‍රයක්

''දකුණේ ජනතාව උතුරට පැමිණෙන්නේ වෛරය වපුරන්න බව ජනාධිපති අනුර දිසානායක පසුගියදා යාපනයේ දී ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම යුද්ධය සිදුකරන්න පෙර ඔවුන්ගෙන් අහන්න තිබුණ බව අගමැති හරිනි අමරසූරිය ප්‍රකාශ කර තිබුණා. රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරිය උතුරට ගොස් වෛරය වපුරන්න උත්සහ කරනවා. රටේ රාජ්‍ය නායකයා සහ අගමැතිවරිය උතුරට ගොස් මෙවැනි කතාවක් සිදුකිරීම සුදුසු නැහැ.  ඒ වගේම ත්‍රස්තවාදීන් දළදා මාලිගාවට , මහ බැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කළේ අගමැති හරිනි අමරසූරියගෙන් අහල ද? ත්‍රස්තවාදීන් අරන්තලාවේ දී භික්ෂුන් වහන්සේලා ඝාතනය කළේ අගමැති හරිනි අමරසූරියගෙන් අහලද? කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ යුද්ධය සිදුකරන ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා තිබෙනවා. අගමැති හරිනි අමරසූරියට අතීත සිදුවීම් ගැන කිසිදු අවබෝධයක් නැහැ.  ජනාධිපති අනුර දිසානායක සහ හරිනි අමරසූරිය අගමැතිවරිය උත්සහ කරන්නේ උතුර සහ දකුණ නැවත ගිනි තියන්න. උතුර සහ දකුණ එකතු කරන පාලම නිර්මාණය කරනවා වෙනුවට දකුණ සහ උතුර වෙන් කරන වෛරය වපුරුවන දේශපාලන න්‍යාය පත්‍රයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා.

ජනාධිපතිවරයා පෙන්වන්නේ ඔහු ගේ උපරිම ධාරිතාව

ආණ්ඩුව බලය ගැනීමට පෙර ජනතාවට දුන්න පොරොන්දු කිසිවක් ඉටු කරන්න කටයුතු කරන්නේ නැහැ.  ආණ්ඩුවට ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන දේවල් සිදුකරන්න දන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක කරන්න කිසිදු අවබෝධයකුත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට නැහැ. ජනතාව විඳින පිඩාවන් පිළිබඳව ආණ්ඩුවට කිසිදු සංවේදිභාවයක් නැහැ. වෛරය වපුරවමින් , උතුර දකුණ ගිනි තියන්න උත්සහ කරමින් අනුර දිසානායක ජනාධිපතිවරයා පෙන්වන්නේ ඔහු ගේ උපරිම ධාරිතාවයයි. අනුර දිසානායක ජනාධිපතිවරයා කතාව තුළින් වෛරය වපුරවලා උතුර සහ දකුණ ගිනි ගන්නා තැනට පත් කරන්න කටයුතු කර තිබෙනවා. ඒ නිසා උතුරේ ජනතාව ආමන්ත්‍රණය කරන විට , දකුණේ ජනතාව ආමන්ත්‍රණය කරන විට රාජ්‍ය නායකයෙකු ලෙස ගොස් විනයක් ඇතිව තමන්ගේ කතාව සිදුකරන්නැයි සමගි ජනබලවේගය ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ල සිටිනවා. විවිධ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක නොකර උතුරට සමාය ගෙන යන්නැයි අගමැති හරිනි අමරසූරියගෙන් ඉල්ලා සිටිනවා. උතුරේ ජනතාවට ආදරය ගෙන යන්න වෛරය අරගෙන යන්න එපා. උතුර සහ දකුණ එකතු කරන පාලම බවට අගමැතිනියට පත්වෙන්නැයි සමගි ජනබලවේගය අගමැතිවරියගෙන් ඉල්ලා සිටිනවා.

හරිනි අමරසූරිය ගේ දේශපාලන පරිණතභාවයේ හිඩස

මේ වනවිට කුරිරු ත්‍රස්තවාදින් විනාශ කරලා වසර 17 ක කාලයක් ගතවී ගොස් තිබෙනවා. මීට පෙර සිටි කිසිදු දේශපාලන නායකයෙකු , කිසිදු දේශපාලන පක්ෂයක් මෙවැනි කතා ප්‍රකාශ කරලා නැහැ. දකුණේ නායකයන් යුද්ධ කිරීම සහ ත්‍රස්තවාදය නැති කිරීම වරදක් බව පෙන්වන්න හරිනි අගමැතිවරය උත්සහ කරනවා. ඒ බව උතුරේ ජනතාවටත් පෙන්වන්න උත්සහ කරනවා. දකුණේ ජනතාවටත් පෙන්වන්න උත්සහ කරනවා. අගමැති හරිනි අමරසූරිය ගේ මේ හැසිරීම සම්බන්ධයෙන් ඇයට ඡන්දය දුන්න ජනතාව ලැජ්ජා විය යුතුයි. අගමැති හරිනි අමරසූරිය ගේ තිබෙන දේශපාලන පරිණතභාවයේ හිඩස ඇය සිදුකරන ප්‍රකාශවලින් පෙනෙන්න තිබෙනවා. කෙසේ හෝ වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව සමාජීය වශයෙන් සහ ආගමික වශයෙන් අලුත් සමාජ වෛරයක් රට තුළ නිර්මාණය කරන්න උත්සහ කරනවා.

වෛරය උප්පත්තියෙන්ම ගෙනා කණ්ඩායමක්

ආණ්ඩුවේ මැති ඇමැතිවරු රටේ ස්වාමීන් වහන්සේ නමකට ආමන්ත්‍රණය කරන්න දන්නේ නැහැ. ස්වාමින් වහන්සේලා ඉල්ලක කර ගනිමින් විවිධ අවලාද අපහාස සිදුකරන්න ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරු උත්සහ කරනවා. ජාතික ජනබලවේගයේ සිටින්නේ නිරාගමික නායකයන් බව ඔවුන් බලය ලබාගැනීමටත් පෙර සමගි ජනබලවේගය ප්‍රකාශ කළා. ආණ්ඩුව සමාජය තුළ වෛරය වපුරවමින් නිරාගමික වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් යනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ සිටින්නේ වෛරය උප්පත්තියෙන්ම ගෙනා කණ්ඩායමක්.

මහා සඟ සමුළුවක් පැවැත්වෙන්නේ ඇයි...?

මහා සඟ සමුළුව ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථාන පරිශ්‍රයේ දී  අද  පැවැත්වෙනවා. සංඝරත්නය තුළ අවුරුද්දයි මාස තුනක් කැකැරෙමින් තිබුණ පීඩනය මහා සඟ සමුළුව හරහා එළියට පැමිණ තිබෙනවා. රට නිරාගමික ක්‍රමවේදයකට තල්ලුවෙමින් තිබෙන බව මීට පෙර සමගි ජනබලවෙගය ප්‍රකාශ කළා. අද වනවිට ආණ්ඩුවේ මැති ඇමැතිවරු සංඝයාවහන්සේලාට විවිධ අයුරින් අපහාස කරන්න උත්සහ කරනවා. ස්වාමින් වහන්සේලාට විවිධ අයුරින් තර්ජන එල්ල කරන්න ආණ්ඩුව යම් යම් උත්සාහයන් දරනවා.  කෙසේ නමුත් ජාතික ජනබලවේගයේ නිරාගමිකකරණය පිළිබඳව සංඝ පරපුරම තේරුම් ගෙන තිබෙනවා. වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් සමාජගත කර තිබෙන ආගමික වෛරය පරාජය කරන්නයි අද මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මහා සඟ සමුළුවක් පැවැත්වෙන්නේ. කෙසේ නමුත් වසර ගණනාවක් රැකගත් බුද්ධ ශාසනය විනාශය කරා ගෙනයාමට වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව උත්සහ කරන බව මහා සංඝරත්නයට වැටහී තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ සෑම අගමකටම එක ලෙස සලකන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.

අත් දැකීම් අභ්‍යාස නොකළ ආණ්ඩුවක්

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය මෙම පෙබරවාරි මාසය වන විට සියයට 65 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය සමීක්ෂණය ඔස්සේ ප්‍රකාශ කර තිබුණා. එම ප්‍රකාශය දැක්ක සැණින් ජනාධිපති අනුර දිසානායක පළාත් සභා මැතිවරණය කැඳවන්න කටයුතු කරවි යැයි සමගි ජනබලවේගය විශ්වාස කළා. ආණ්ඩුවේ ප්‍රසාදය සියයට 65 ක් තිබෙනවා නම් පළාත් සභා මැතිවරණය පවත්වා ආණ්ඩුවට පහසුවෙන්ම ජයග්‍රහනය කරන්න පුළුවන්. නමුත් පළාත් සභා මැතිවරණය ආණ්ඩුව කිසි ලෙසකින්වත් පවත්වන්නේ නැති බව සමගි ජනබලවේගය දන්නවා. රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසියාකාරව සකසා ගැනීමට නොහැකි ආණ්ඩුව කොහොමද පළාත් සභා මැතිවරණය පවත්වන්න ක්‍රමයක් සකස් කරන්නේ? තුනෙන් දෙකක බහුතර බලයක් තිබිලත් පළාත් පාලන ඡන්ද ක්‍රමය සංශෝධනය කර ගන්න ආණ්ඩුව අවබෝධයක් නැහැ. ආණ්ඩුව අද්දැකිම් අභ්‍යාස කරලා නැහැ.  ඒ වගේම ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන ඕනෑම ක්‍රමයකට සමගි ජනබලවේගය සුදානම්. ආණ්ඩුව රටේ වපුරන වෛරය පිළිබඳව පළාත් සභා මැතිවරණයක් තිබ්බොත් දැක ගන්න හැකියාව තිබෙනවා. පළාත් සභා මැතිවරණ පවත්වන ක්‍රමය ගැන හොයන්න කමිටු අවශ්‍ය වෙන්නේ නැහැ. ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට මැතිවරණ ක්‍රමය පවත්වන්න අදාල අණ පනත් අනුමත කර ගන්න සංශෝධනය කර ගන්න ආණ්ඩුවට බහුතර බලයක් තිබෙනවා. මනාප ක්‍රමයට හෝ පලාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි.''

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න