ශ්‍රී ලංකාවේ චිත්‍රකතා (Comics) ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේ දී එය 20 වන සියවසේ මැද භාගය තෙක් දිව යන බව දක්නට ලැබේ.
එම යුගයේ ආරම්භ වූ චිත්‍ර කතා ප්‍රවණතාව 70-80 දශක වන විට ස්වර්ණමය යුගයක් සනිටුහන් කළේ ය. එකී ස්වර්ණමය යුගය පසුකරමින් පැමිණි ශ්‍රී ලාංකිය චිත්‍ර කතාකලාව වර්තමානය වන විට ඩිජිටල් මාධ්‍ය දක්වා විකාශනය වී තිබේ.
ආරම්භක යුගයේ දී පුවත්පත් තුළින් දරුවන් අතර ප්‍රචලිත වූ මෙම රසවින්දනය පසුව සිංහල සංස්කෘතිය සමග මුසු වූ ස්වාධීන චිත්‍රකතා කලාවක් ලෙස වර්ධනය විය.
පුවත්පත්වල චිත්‍රකතා පළවීම ආරම්භ වූයේ 1950 – 60 දශකවල දී ය. එය වඩාත් ප්‍රචලිත වූයේ "ළමා පුවත්පත්" තුළ අන්තර්ගත වූ සරල කතා මාලා තුළිනි.
පසු කලෙක ඉමහත් ජනප්‍රියත්වයට පත් චිත්‍ර කතා කලාවේ පළමු චිත්‍රකතා පොත ලෙස ඉතිහාසයට එක්වූයේ ධර්මසිරි ජයකොඩි රචනා කළ, ජී. ඇස්. ප්‍රනාන්දු චිත්‍ර ශිල්පියා ගේ සිතුවමෙන් හැඩ වූ ''නීලා'' චිත්‍රකතාව ය. ඒ මීට වසර 66කට පමණ ඉහත දී ය.
එකළ චිත්‍ර කතා රසික රසිකාවන් එම චිත්‍රකතා පොත සුරැකිව තබාගන්නට ද ඇත. එහෙත් තවමත් චිත්‍රකතාවට පෙම් බඳින රසිකයකුට හෝ රසිකාවකට කියවා රසවිඳින්නට ඒකල නිකුත් වූ පොත සොයාගැනිමට අසීරු ය. නමුදු ඒම අසීරුතාව මග හරවමින් අදටත් පැරණි චිත්‍ර කතා කියවන රසිකප්‍රජාව ගේ අවශ්‍යතාව සපුරාලනු වස් මරදාන සූරිය ප්‍රකාශන ආයතනය විසින් ලංකාවේ පළමු චිත්‍රකතාව වූ ''නිලා'' කෘතියෙහි පුනර් මුද්‍රණයක් (කොටස් ද්විත්වය ම තනි කෘතියක් ලෙස) ප්‍රකාශයට පත් කර ඇත.
එම චිත්‍රකතා පොත ඔබගේ නිවසට ම ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු ද මරදාන සූරිය ප්‍රකාශන ආයතනය විසින් සම්පාදනය කරනු ලැබ ඇත.
මෙහි දැක්වෙන්නේ තනි පොතක් ලෙස ප්‍රකාශයට පත් කළ කෘතියේ ඉදිරිපස සහ පිටුපස කවර ද්විත්වය යි.


