1972 වසරේ ඇපලෝ (Apollo) මෙහෙයුම් නිමාවීමෙන් පසු, ප්‍රථම වතාවට ගගනගාමීන් පිරිසක් සඳ වෙත රැගෙන යන නාසා (NASA) ආයතනයේ Artemis II මෙහෙයුම එළඹෙන මාර්තු 6 වනදා දියත් කිරීමට තීරණය කර ඇත.
පසුගිය පෙබරවාරි මුල් සතියේදී රොකට්ටුවට ඉන්ධන පිරවීමේදී ද්‍රව හයිඩ්‍රජන් කාන්දුවක් හඳුනා ගැනීම හේතුවෙන් මෙහෙයුම නියමිත දිනට වඩා මදක් ප්‍රමාද විය.
කෙසේ වෙතත්, එම දෝෂ නිවැරදි කිරීමෙන් අනතුරුව ඉකුත් පෙබරවාරි 20 වනදා පැවති දෙවැනි පරීක්ෂණ වටය (Wet Dress Rehearsal) සාර්ථකව නිම කිරීමට නාසා ඉංජිනේරුවන්ට හැකි විය.
මෙහිදී ලොව බලවත්ම රොකට්ටුව ලෙස සැලකෙන SLS (Space Launch System) රොකට්ටුවට අවශ්‍ය ද්‍රව ඉන්ධන ගැලුම් 730,000ක් පිරවීම සහ දියත් කිරීමට පෙර සිදු කෙරෙන අවසන් තත්පර දක්වා වූ පාලන කටයුතු (Countdown) පරීක්ෂාවට ලක් කෙරිණි.
මෙම මෙහෙයුමට ප්‍රථම වතාවට කාන්තා ගගනගාමියෙකු, කළු ජාතික ගගනගාමියෙකු සහ ඇමරිකානු නොවන (කැනේඩියානු) ගගනගාමියෙකු ඇතුළත් වීම සුවිශේෂ වේ.
දියත් කිරීමේ දිනය ස්ථිර වෙමින් පවතින බැවින්, මෙහෙයුමට එක්වන ගගනගාමීන් සිව්දෙනා මේ වන විටත් සති දෙකක විශේෂ සෞඛ්‍ය නිරෝධායන (Quarantine) ක්‍රියාවලියකට යොමු කර තිබේ.
මෙය දියත් කිරීමට පෙර ඔවුන් කිසිදු අසනීපයකට ගොදුරු නොවන බව සහතික කිරීම සඳහා ගන්නා ලද පියවරකි.

