Language Switcher

V2025

මහින්දගේ මස්සිනා 40%ක වැඩි මිලට ගුවන් යානා අරන්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට වෙළෙඳ අගයට වඩා 30%-40% ක්‌ ඉහළ අගයකට දිගුකාලීන බදු පදනම යටතේ ගුවන් යානා කුලියට ගැනීම නිසා සමාගමට බරපතල අලාභයක් සිදුවූ බව ශ්‍රී ලංකා ගුවන් නියමු සංසදයේ සභාපති කපිතාන් රුවන් විතානගේ සඳහන් කර ඇත.

ඔහු එසේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන්, ශ්‍රී ලංකන් කේටරීන් සහ මිහින් ලංකා යන සමාගම්වල අක්‍රමිකතා පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (18 ) සාක්ෂිලබාදෙමින්ය.

අදාළ ගුවන් යානා බදු ගිවිසුම්වලට එළඹෙන කාල සීමාවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කලේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොයුරු නිශාන්ත වික්‍රමසිංහය. 

2008 වසරේදී එමිරේට්ස් සමාගම ශී‍්‍රලන්කන් ගුවන්සේවය අත්හැර ගිය අවස්ථාවේදී එම වසර සදහා පමණක් ශී‍්‍රලන්කන් රුපියල් බිලියන 9.288 ක ලාභයක් උපයා තිබිණ.

නමුත් ක්‍රම  විරෝධී ආකාරයට  ගුවන් ටිකට් නිකුත් නොකිරීම හේතුවෙන්  එදා එමීරේට්ස් සමගම රාජපක්ෂලාගේ රාජ උදහසට ලක්විය.

එදා ඒ රාජ උදහස රාජපක්ෂලා  පිටකර සිටියේ    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මහින්දගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ ට පැවරීමෙන්ය. එයින්ද තෘප්තිමත් නොවූ රාජපක්ෂ පාලනය රාජ උදහස අවසන් කර ගත්තේ රාජපක්ෂ පවුලේ සමාගමක් බවට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත්කර ගනිමින් ය.

මහින්දගේ මස්සිනා වූ නිශාන්ත ගුවන් සමාගමේ සභාපති විය. අටදෙනකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයේ තවත් සාමාජිකයකු වූයේ ශවීන්ද්‍ර රාජපක්ෂ ය. ඔහු හිටපු කථානායක චමල් රාජපක්ෂගේ පුත්‍රයකු ය.   හිටපු ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ සොහොයුරා ය.

අවසානයේ රාජපක්ෂලා අතින් මස්සිනාකරණය වූ සහ රාජපක්ෂ පවුලේ සමාගමක් බවට පත්වූ  ශ්‍රී ලන්කන් ගුවන් සේවය  2008 සිට 2015 වසර දක්වා ලැබූ අලාභය  රුපියල් බිලියන 128.238 කට ආසන්නය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමඟ වූ රාජපක්ෂලාගේ ඇරියස් එතැනින් අවසන් වූයේ නැත. තවත් වැඩ ගොඩක් සමඟ2015 ජනවාරි 08 වනදා දක්වා රාජපක්ෂලා ජාතික ගුවන් සේවය සමඟ හරි හරියට සෙල්ලම් කළේය.

නාමල් රාජපක්ෂගේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලන්කන් ගුවන්සේවිකාවක් ගුවන් සමාගමේ වැටුප් මත මුදා හැරීම එයින් එක් සෙල්ලමක් පමණය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ගේ ඉල්ලීමක් මත මෙම ගුවන් සේවිකාව නිදහස් කර ඇතුවා පමණක් නොව සිත් ඇදගන්නා සුළු ගෙවීමක්ද ඇයට සිදුකර ඇත.

ඒ  එම ගුවන් සේවිකාව ගුවන් යානය තුළ සිදු කරන කටයුතු සඳහා ලබන  දීමනා ඇතුළුව රුපියල් මිලියන 4.2 කට වැඩි මුදලක් ගෙවමින්ය.
 
මේ වන විටත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අදාළ රාජපක්ෂලාගේ කෙරුම් අනාවරණය කර ඇති ජේ.සී. වැලිඅමුණ වාර්තාවේ සඳහන් ආකාරයට නම් තවත් බොහෝ සෙල්ලම් ඒ සමයේ ශ්‍රී ලංකාවේ නිල ගුවන් සේවය තුළ සිදුව ඇත.
 
යෝෂිත රාජපක්ෂ සඳහා ලන්ඩනයේ සිට මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඔස්සේ යැවීමට කටයුතු කිරීම එවනි එක් සෙල්ලමක්ය.

ශ්‍රී ලන්කන් ආයතන ප්‍රධානී වික්‍රමසිංහ සඳහා අතිසුඛෝපභෝගී මෝටර් රථයක් ලබාගැනීම සඳහා එවකට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේන යොදවා කූට ලේඛන සකසා තිබීම තවත් සෙල්ලමක්ය.
 
මෙම රථය ජනාධිපති මස්සිනා  ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ ඒ වන විටත්  නිකුත් කර තිබූ සුඛෝපභෝගී බෙන්ස් රථයට සහ අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයට අමතරවය.

තවද “ශ්‍රී ලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහ ගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ලබා දී ඇති බවත් ඒ හරහාද රාජ්‍ය ධනය මහා පරිමාණයෙන් නාස්තිකාර දමා ඇති බවත් වැලිඅමුණ වාර්තාවේ සඳහන් ව ඇත.

ඇත්තටම නම් මේ රාජපක්ෂ පවුලේ සමාගමක් ලෙස  මස්සිනාකරණය වූ රාජ්‍ය ගුවන් සේවය පාඩු ලැබීමට අදාළ සෙල්ලම් කිහිපයක් පමණය.
 
සෙල්ලම් එතැනින් අවසන් නැත. තවත් බොහෝ සෙල්ලම් වැලිඅමුණ වාර්තාවේ අනාවරණය කර ඇති අතර ජනාධිපති කොමිසම හමුවේද ඒවා හෙට දිනයේ එකිනෙක අනාවරණය වනු ඇත.