ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවට මාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවර්ධනය උදෙසා පිහිටුවීමට යෝජිත මාධ්‍ය කොමිෂන් සභාවක් වෙනුවෙන් සකස් කළ මූලික සංකල්ප පත්‍රිකාවක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය.
ප්‍රවීණ ජනමාධ්‍ය වෘත්තිකයින්, පරිපාලකයින්, සන්නිවේදන හා මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්, නීතිවේදීන් ගේ ඇතුළු සම්පත් දායකයින් දස දෙනෙකු ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් සකස් කරන ලද මෙම සංකල්ප පත්‍රිකාව, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පිළිගන්වන ලද්දේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර විසිනි.
මෙම අවස්ථාවට සංකල්ප පත්‍රිකාව සම්පාදක කමිටුවේ සාමාජිකයින්, අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම මාධ්‍ය සංවිධාන නියෝජිතයින් කිහිපදෙනකු ද සම්බන්ධවී සිටියහ.
මෙම අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙසේ සඳහන් කළා ය.
“ජනමාධ්‍යයට යම් නියාමනයක් අවශ්‍ය බව කාලයක් තිස්සේ මහජනයා, සිවිල් සංවිධාන ඉල්ලමින් ඉන්නවා. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර කොමිෂන් සභාවක් ගැන විවිධ අවස්ථාවල විවධ අය පෙන්වා දුන්නා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් ‘ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභාවක්' ස්ථාපිත කිරීමේ පොරොන්දුවක් දී තිබෙනවා. මීට පෙර මාධ්‍ය සංවිධාන පවා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරමින් යම් නියාමනයක් පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳ යම් යම් සාකච්ඡා, ප්‍රකාශන සිදුකර තිබෙනවා. මා පවා මාධ්‍ය සංවිධානයක කටයුතු කළා. ඒ කාලෙදිත් මේ සම්බන්ධයෙන් විවිධ මැදිහත්වීම් කළා. දැන් අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්‍ර යේ සියලු වෘත්තිකයින්, සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, විද්වතුන්, පර්යේෂකයින්, වගේම පොදු ජනයා එක්ව මාධ්‍ය කර්මාන්තයේ උන්නතියට, අභිවර්ධනයට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගනිමු. ඒ සඳහා සහය දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා"
මෙම සංකල්ප පත්‍රිකාව සකස් කළ සම්පාදක කමිටුව පහත පරිදිය.
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර - සභාපති - ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය
නීතිඥ ජගත් ලියන ආරච්චි - සාමාජික තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව
ආචාර්ය මනෝජ් ජිනදාස - අංශ ප්‍රධානී/ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය- ජන සන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
අසෝක ඩයස් - ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී /බාහිර කථිකාචාර්ය
මන්දනා ස්මයිල් - උපදේශක කර්තෘ The Sunday Morning පුවත්පත/ ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික
නිරෝෂන් තඹවිට - පුවත්පත් කොමසාරිස් -ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය
නීතිඥ නිවන්ති තිලකරත්න - නීති නිලධාරී-එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම
හිල්මි මොහොමඩ් - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්ත්‍රවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ
කනපතිපිල්ලෙයි කුමනන් - ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී (තමන්ට ක්‍රියාකාරීව සම්බන්ධවීමේ ගැටලු පවතින බව දන්වා පසුව ඉල්ලා අස්විය)
ලසන්තද සිල්වා - ප්‍රවීණ මාධ්‍යවේදී/ කැඳවුම්කරු නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ප්‍රියන්ත වෙදමුල්ල - සභාපති -ස්වාධීන රූපවාහිනී සේවය
(මෙහි ජගත් ලියනාරච්චි, මන්දනා ඉස්මයිල්, නිවන්ති තිලකරත්න යන අය සංකල්ප පත්‍රිකාව පිළිගන්වන අවස්ථාව වන විට ඉහත තනතුරු නොදරන බව කිව යුතුය)


