දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියාවේ අයෝධ්‍යාවේ, ශ්‍රී පංච අග්නි අඛාඩා ප්‍රධානී මහාමණ්ඩලේෂ්වර් ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ් පසුගිය 23වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමු වී සාකච්ඡා කළේ ය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධ්‍යාත්මික හා සංස්කෘතික සබඳතා පිළිබිඹුව
මහා කුම්භ මේලා උත්සවයට සම්බන්ධ ප්‍රමුඛ අධ්‍යාත්මික නායකයකු වන ස්වාමි කයිලාසනන්ද ගිරි ජි මහරාජ්, ගිහි සහ පැවිදි නියෝජිතයන් 14 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් 23වන දා දිවයිනට ළඟා වූහ. ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මෙම දූත පිරිස නුවරඑළිය, යාපනය, ත්‍රිකුණාමලය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඓතිහාසික සහ ආගමික වශයෙන් වැදගත් වන්දනාස්ථාන නැරඹීමට නියමිත ය. මෙම සංචාරය මගින් සියවස් ගණනාවක් පුරා පවතින ආගමික උරුම සහ ශිෂ්ටාචාරමය සබඳතා මත ගොඩනැඟුණු ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අධ්‍යාත්මික හා සංස්කෘතික සබඳතා මැනවින් පිළිබිඹු කරයි.
සංචාරයෙහි වටිනාකම
මෙවැනි සංචාර දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, ආගමික හා සංස්කෘතික සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමටත් අර්ථවත් ලෙස දායක වන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. එමෙන්ම දීර්ඝකාලීන ඉන්දු-ශ්‍රී ලංකා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරන අතරම, විශේෂයෙන් ඉන්දීය බැතිමතුන් අතර ශ්‍රී ලංකාව අධ්‍යාත්මික සහ උරුම මත පදනම් වූ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙම සංචාරය මහඟු අවස්ථාවක් සපයන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.


