දිට්වා සුළි කුණාටු තත්ත්වයෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේ ය.
මෙම පෙත්සම් මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට කරුණු ඉදිරිපත් කර තිබුණ ද, ඒවා පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව විනිසුරු මඩුල්ලේ තීරණය විය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.
ජනාධිපතිවරයා විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසි මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කප්පාදු වන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තර්ක කළහ.
කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් දෙක විභාගයට ගැනීමට අවසර ලබා නොදෙමින් ඒවා නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේ ය.
'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශය හමුවේ රටේ ආරක්ෂාව සහ සහන සේවා කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ හදිසි නීති රෙගුලාසි මාලාවක් ප්‍රකාශයට පත් කර තිබුණි.

